Monday, August 27, 2012

ලොවක් හෙල්ලූ විජ්ජාකරුවෙක්!!!!


එක එක කාලෙට ලෝකයේ විවිධ දස්කම් ඇති පුද්ගලයින් බිහිවෙනවා.  සාමාන්‍ය අයට වඩා වෙනස්ම දේවල් කිරීම නිසා ඔවුන් මිනිසුන්ගේ හදවත් තුල දිගු කාලයක් ජීවත් වෙනවා.  ඒ විදියට ලෝ පතල නමක් තමයි හැරි හුඩ්නි කියන්නේ.  ඔහු විසින් කරපු විශ්මය ජනක දේ බොහෝයි.  සේප්පුවක ආරක්ෂා කාරී අගුලක් කැඩීම, තඩි ඉබ්බෙක් ඇරීම, යකඩ සේප්පුවක් ඇරීම වගේ දේවල් අපි සැමන් ටින් එකක් කඩනවාටත් වඩා පහසුවෙන් කිරීමට ඔහු සමත්කම් දැක්වූවා.

එක් අවස්ථාවක ෂර්ලෝක් හොල්ම්ස් නම් රහස් පරීක්ෂකවරයාට පන දුන් සර් ආතර් කොනන් ඩොයිල් පැවසුවේ “හැරී මේ විශ්මය ජනක දේවල් කරන්නේ නම් යම් භූත බලවේගයකින් විය යුතුයි.  එහෙම නැත්නම් කොහොමද ඔහුව සිරකර තබන පෙට්ටිවලින් පවා කිසිම කරදරයක් නැතිව ගැලවිලා යන්නේ....

එක් දිනක් මේ හැරී හුඩ්නිගේ අත් පා සියල්ලම යකඉ දම්වැල් වලින් ඔතලා රාත්තල් සීයකට ආසන්න බරක් ඇති යකඩ ගොලයක් එල්ලලා ඔහුව මුහුදට තල්ලු කරලා තියෙනවා.  බොහෝම දෙනෙක් විශ්වාස කලේ හැරී හුඩ්නිගේ අවසාන දවස එදා කියලයි.  ඔහුගේ ලෝකයට ආයිත් කිසිම දිනෙක හිරු නොපායන බව කෙනෙක් විශ්වාස කලා.  ඔහුව මුහුදට දැමු පිරිස ඔහුගේ මල සිරුර මුහුදේ පාවෙන තුරු බලාගෙන සිටියා.  ඒත් පුදුමය කියන්නේ අර ඔතපු යකඩ දම්වැල් කිසිවක්ම නැතිව විනාඩි පහක් ඉක්ම යන්නටත් මත්තෙන් හැරී මුහුදෙන් මතුවුනා. 

දිනක් සැන් ප්‍රැන්සිස්කෝ හිරගෙදර ඔහුගේ දස්කම් පරීක්ෂා කරන්නට සිතා සිරගෙදර කාමරයක නිරුවතින් දමා අගුලු දැමුවා.  ආරක්ෂක නිලධාරීන් හෙමින්ම තමන්ගේ කාර්යාලයට පියවර මැන්නා.  අදාල පුද්ගලයා කාර්යාලයට ඇතුලු වෙනවාත් සමගම “හලෝ මහත්මයා!!!! කොහොමද ඉතින් සැප සනීප එහෙම?  කියමින් කිසියම් පුද්ගලයෙක් ඔහුගේ පිටට තට්ටු කලා.    ටික වෙලාවකට කලින් නිරුවත්ව සිර මැදිරියකට දමා අගුලු දමා  පැමිණි හැරී හුඩ්නි ඇදුම්ද ඇදගෙන තමන්ගේ පිටුපස සිනාසෙමින් සිටිනවා දුටු ජේලර් තැන පුදුමයෙනුත් පුදුමයට පත්වුනා. 

තවත් අවස්ථාවක හැරී ප්‍රදර්ශනයක් පැවැත්වීමට යොදාගෙන තිබුනේ සෙන් පීටර්ස්බර්ග් නගරයේයි.  ඉතින් ඔහු එහි ගිහින් ඉන්න විට ඔහුගේ රසිකයෙක් පැමිණ අභියෝගයක් කළා එවකට රුසියාවේ සිට සයිබීරියාවට සිරකරුවන් ගෙන ගිය “කැසට්..නම් බන්ධනාගාර රථයෙන් ගැලවී යන ලෙස.  එය ඇත්තටම බන්ධනාගාර රථයක් විදියට හැදින්වූවත් රෝද උඩ සවිකළ ආරක්ෂාකාරී යකඩ සේප්පුවක්.  ඒත් ඒක සාමාන්‍ය යකඩ සේප්පුවකුත් නෙවෙයි.  තට්ටු හතරක් එක් කර සාදපු අයෝමය ආරක්ෂාකාරී සේප්පුවක්.  කොයිතරම් දක්ෂයෙකුට වුනත් ඒකෙන් ගැලවිලා එන්නට පුළුවන් කමක් තිබුනේ නැහැ.  නමුත් හැරී හුඩ්නි එම අභියෝගය බාර ගත්තා.

ඉතාමත් තද සිතලක් සහිත කාලගුණයක් ඇති දවසක හැරී හුඩ්නිව කිසිම ඇදුමක් ඇගේ නොමැතිව නිරුවතින් “කැසට් නම් බන්ධනාගාර රථයට ඇතුළු කරනු ලැබුවා.  පසුව ආරක්ෂාකාරී අන්දමින් අගුලු දැමුවා.  ගතවූයේ විනාඩි 30ක් පමණයි.  ඉතාමත් සූක්ෂම දක්ෂ සොරුන් පවා පසුබැස්සවූ කැසට් බන්ධනාගාර රථයෙන් හැරී පිටතට ආවේ සියල්ලන් විශ්මයෙන් මුව අයාගෙන සිටිද්දීයි.  ඔහු පිටතට එන විට ඒ සදහා ගන්නා ලද උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ගැලූ දහඩිය අයිස් බවට පත්වී ඔහුගේ සිරුර පුරාවටම තැවරී තිබුනා.

තවත් අවස්ථාවක බන්ධනාගාරයට සිරකරුවන් ගෙන ගිය නැවකට හැරී හුඩ්නිව ඇතුළුකර වානේ ඇදුමක් අන්දවා එම ඇදුමට අගුලක්ද දමා ඕක් ලීයෙන් කළ බාල්කයක ඉතාමත් ශක්තිසම්පන්න යකඩ දම්වැල් වලින් බැද දැමුවා.  විනාඩි තුනක් වැනි ඉතාමත් සුළු කාලයකදී ඒ සියල්ලන්ගෙන්ම ඔහු මිදුනා.

එක් නගරයකට ගිය ඔහු තමන්ව කැමති ආකාරයකට සිර කර තබන ලෙසත් තමන්ට එයින් සුළු මොහොතකදී ගැලවී යාමට හැකි බවත් පවසමින් අභියෝග කරනු ලැබුවා.  ඉතින් නගරවාසීන් එකතුවෙලා හැරීගේ අත් පිටුපසට කර යකඩ දම්වැලකින් බැද දමා  විශාල ඉබ්බෙක්ද දැමුවා.  පසුව කකුල් දෙකත් යකඩ දම්වැල් වලින් වෙලා එයටත් ඉබ්බෙක් දමා බිත්තියට හේත්තු කොට ඔහුව සම්පූර්ණයෙන්ම පාහේ යකඩ දම්වැල් වලින් වෙලනු ලැබුවා.  පසුව එම කාමරයට විශේෂ අගුලක්ද දමා වැසුවා.  පුදුමයකි!!!!! පැය කාලක්වත් ගතවූයේ නැති තරම්ය.  හැරී සිර මැදිරියෙන් පිටතට ආවේ සිවුරු හඩලමිනි.

වර්නර් ග්‍රාප් නම් එක්තරා පොලිස් නිලධාරියෙක් හැරීගේ අත්දෙකට දැමුවේ විශ්මය ජනක මාංචු කුට්ටමකි.  එය වසා යතුරු කැරකැවූ පසුව එම යතුරෙන්වත් මාංචු කුට්ටම විවෘත කිරීමට නොහැකි වුනා.  නියම ක්‍රමය හැරුනම එය විවෘත කරන්නට පුළුවන් කමක් තිබුනේ එයට වෙඩි බෙහෙත් පුරවලා දල්වා අගුල පුපුරවා හැරීමෙන් විතරයි.  නමුත් හැරීට එම අගුල ඇරීමට වෙඩි බෙහෙත් හො වෙනත් උපකරණයක් වුවමනා වූයේ නැත.  විනාඩි හයක් ඇතුලත ඔහු එම මාංචු වලින් නිදහස් වුනේය.

රුසියාවේ සර්ජියස් මහා ආදිපාද තුමාගේ මාලිගාවේදී හැරී හුඩ්නි විජ්ජා පෙන්වන්නට ගියා එහි දී රුසියාවේ සිටි දක්ෂම යතුරු නිපදවන්නන්ට කියා යතුරු තහඩු ගණනාවක්ම සාදවා සවි කළ වානේ පෙට්ටියක් හුඩ්නිගේ ඉදිරියෙන් තැබූ ආදිපාද තුමා තමන්ගේ දක්ෂකම් ප්‍රදර්ශනය කරන ලෙස කියා සිටියා.  එම පෙට්ටියට යතුරු තහඩු 50ක්පමණ සවි කර තිබුනා.  අනෙක් කරුණ නම් නියම යතුරු නියම ආකාරයට කැරකැවීමෙන් මිස වෙනත් ආකාරයකින් එය විවෘත කිරීමේ හැකියාවක් තිබුනේම නැහැ.  තමන් ලග කිසිම ආයුධයක් නොමැති බව සහතික කල හැරී තමන්ගේ ඇදුම් සියල්ලම උනා දමා තමාව අදුරු කාමරයක වානේ පෙට්ටියත් සමග දමන්නැයි කියා සිටියා.  ආදිපාද තුමාත් මෙම ලොපතල විජ්ජා කරු පරාද කිරීමේ අරමුනින් එම අදහසට එකපයින් කැමති වුනා.  ටික වෙලාවකට පස්සේ දැඩි ආරක්ෂාවක් යොදා වසන ලද අර පෙට්ටිය විවාත කර එයත් රැගෙන හැරී අදුරු කාමරයෙන් එළියට ආවේ සිනා රැදි මුහුණින්.

මේ තරම් විස්මිත දේවල් ලෝකය ඉදිරියේ කරන්නට ඔහු දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු පුහුණු වුනා.  ඒ පුහුනුවීම් හිතන තරම් ලෙහෙසි වුනේ නැහැ.  ඔහු තමන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක්ම ගත කරලා තියෙන්නේ යතුරු තහඩු ගැන පරීක්ෂන පවත්වන්නටයි.  අවුරුදු කිහිපයක්ම ජර්මනියේ උසස්ම යතුරු නිෂ්පාදන ශිල්පියෙකු ලග එක දිනකට පැය දහතුනක් පමණ සේවය කරමින් ඒ ශිල්පය හැදෑරුවා.  ඒ විතරක් නෙවෙයි විජ්ජා පෙන්වන්නට තමන්ගේ ශරීරයේ තියෙන හැම මස් පිඩුවක්ම ඉතාමත් සූක්ෂම ලෙස ක්‍රමානූකූලව හසුරුවන්නට පුරුදු පුහුණු වුනා.  ඔහුට තමන්ගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියයක්ම මනාව පාලනය කර ගැනීමට නිපුනතාවයක් තිබුනා. 

තවත් කරුණක් තමයි ඔහුව කොයි ආකාරයෙන් නිරුවත් කලත් මොනයම්ම හෝ ආයුධයක් දෙකක් තමන්ගේ සිරුරේ කොතැනක හෝ සගවා තබා ගැනීමේ අසාමාන්‍ය හැකියාවක් ඔහු සතුව තිබුනා.  දැලි පිහියා තලයක්, පීරක්, යකඩ කපන කියතක් වැනි ඕනැම දෙයක් ඔහු ලග තිබුනා.   බොහෝ දෙනෙක් මොහුගේ මෙම රහස් දැනගැනීමට අසීමිත උත්සාහයක යෙදුනා.  නමුත් කිසිම පුද්ගලයෙකුට ඔහු සතු හැකියාවන් කිසි කලෙකත් මුළුමනින්ම දැනගැනීමේ හැකියාවක් තිබුනේ නැහැ.

“මගේ ලග තියෙන හැකියාවන්ගෙන් කිසිම කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැ.  ඒවා මොනයම්ම ආකාරයකින් හෝ කපටි පුද්ගලයෙක් දැනගත්තොත් ඒකෙන් වෙන්නේ ලොකු විනාශයක්.  ඔහු ලෝකයේ ඉන්න ලොකුම හතුරා වේවි.  ඔහු එතකොට මේවායින් වංචාකාරී ලෙස ප්‍රයෝජන ගෙන අනෙක් අයත් රවටා සියල්ලන්ටම හිරිහැර කරාවි.  ඒ හින්දා කිසිම කෙනෙකු මගේ රහස් දැනගන්නට වුවමනා නැහැ.  මම මැරෙන කොට මාත් එකක්ම මගේ රහස් සියල්ලම වැළලී යා යුතුයි..... හැරී හුඩ්නි පැවසුවා.

Friday, August 24, 2012

රෝමය ගිනි ගනිද්දී.....


රෝම අධිරාජ්‍යයේ අවසාන පාලකයා නීරෝ නම් විය.  රෞද්‍ර පාලකයෙක් වූ නිරෝ තමන්ගේ අවසානය වනතෙක්ම සිය රාජ්‍යය එක්තැන් කිරීමේ කාර්යය  ගෙන ගියේ රුදුරු වෙසක් ගනිමිනි.  ඔහු කෙතරම් කෘෘර පාලකයෙක් වුවද බොහෝ කාර්යයන්හි නිපුනත්වයක් දැක්වූ පුද්ගලයෙකි.

කෙසේ වෙතත් නීරෝට තිබූ මේ දුෂ්ට ගතිගුණ සිය පරම්පරාවෙන් ලැබුනු දායාදයන් ලෙස සැලකූහ. අතිශය රූමත් කාන්තාවක් වූ  ඔහුගේ මව ඉතාමත් දුෂට ගතිගුණ වලින් හෙබි කාන්තාවකි.  ඇය නමින් ඇග්රිපිනා නම් වූවාය.  තමන්ගේ විනෝදය පතා සිය ගණනක් මිනිසුන් අති අමානුෂික ලෙස වධ හිංසාවන්ට ලක්කොට ඉන් මහත් ආස්වාදයක් ලැබූ කාලිගුල්ලා නම් අධිරාජයාගේ සොයුරිය ඇයයි. නීරෝගේ බාප්පාටත් වස පානය කිරීමට දී මරණයට පත්කරනු ලබන්නේ ඇයයි.  

එපමණක්ද නොවේ මිනිසුන් කිහිපදෙනෙකුම මරණයට පත්කල ඔහුගේ පියාටත් තිබුනේ එවැනිම දුෂ්ට ගතිගුණයන්ය.  ඔහු මියයන විට නීරෝගේ වයස යන්තම් අවුරුදු 3 සම්පූර්ණ වූවා පමණි.

සිය පියාගේ මරණින් පසු කරණවෑමියෙකුගේ භාරයේ වැඩුනු නීරෝ ඉපදුනේ ක්‍රි.පූ. 37දිය.  ඇග්රිපිනා , ක්ලෝඩියස් අධිරාජයා සමග විවාහ වීමෙන් පසු නීරෝ තමන්ගේ දරුවෙකුමෙන් හදා වඩා ගන්නට ක්ලෝඩියස් අධිරාජයාව කැමති කරවාගත් ඇය, ඔහුගේ පුත්‍රයා වූ බ්‍රිටැනිකස් වෙනුවට නීරෝ ඔටුන්න හිමි කුමාරයා බවටත් ක්ලෝඩියස්  අධිරාජයා ලවා ප්‍රකාශ කරවා ගැනීමට සමත් වූවාය.  එම කරුණු කෙසේ වුනත් ක්ලෝඩියස් කෙරේ දැඩි විශ්වාසයක් නොතැබූ ඇග්රිපිනා ඔහු තමන්ගේ අදහස වෙනස් කිරීමට පෙර මරා දැම්මාය.  ඉන්පසුව තමන්ගේ දහසය හැවිරිදි පුතු රෝමයේ අධිරාජයා ලෙස ප්‍රකාශ කළාය.

රෝම අධිරාජ්‍යය බ්‍රිතාන්‍යයේ සිට මොරොක්කෝව දක්වාත්, අත්ලන්තික් මුහුදේ සිට කැස්පියන් මුහුද දක්වාත් විහිදී තිබුණා.  රෝමය තමයි එහි මධ්‍යස්ථානය වුනේ.  එහි මුළු බලයම එක්තැන් කල අසහාය පාලකයා වූ නීරෝගේ බලය රදා පැවතුනේ විශාල හමුදාවක් මතයි.  සෙනෙට් සභාව බල රහිත වූ අතර මහජනයාගේ පැත්තෙන් ගත්තහම ඔවුන්ට කිසිම බලයක් තිබුනේ නැහැ.  සියලුම නීති සම්පාදනය කලේත්, පාලනය කලේත්, ප්‍රධාන විනිසුරුවරයා වූයේත්, පූජකයා වූයේත් නීරෝමයි. කොටින්ම කිවුවොත් ඒතන තිබුනේ වන් මෑන් ෂෝ එකක්ලු.

ක්ලෝඩියස්ගේ පුතා බ්‍රිටැනිකස් තමන්ගේ පියාගේ කිරුළට හිමිකම් කීමට උත්සාහ ගනීවි කියලා හිතපු නීරෝ ඔහුව මරා දැමීමට තීරණය කලා.  බ්‍රිටැනිකස්ට වස දාපු මද්‍යසාර පොවලා දාහත් හැවිරිදි ඔහුව මරණයට පත්කලා.   මේක තමයි නීරෝගේ පළමු මිනී මැරුම ලෙස රෝම ඉතිහාසයේ වාර්තා වෙන්නේ.

නමුත් ඔහුගේ මරණින් පස්සේවත් නීරෝට සම්පූර්ණ බලයම ක්‍රියාවේ යොදවන්නට හැකියාවක් තිබුනේ නැහැ.  තමන්ගේ මව වූ ඇග්රිපිනා රෝම අධිරාජ්‍යෙය් අග රාජිනිය ලෙස කටයුතු කිරීමට උත්සාහ කළ නිසයි මෙවන් තත්වයක් උදාවුනේ.   තමන්ගේ මෑනියන් මෙලෙස හැසිරීම තමන්ගේ කටයුතු වලට බාධායක් විදියට හිතපු නීරෝ එය වලක්වන්නට දුෂ්ට උපායක් කල්පනා කලා. මුහුදු බඩ ප්‍රෙද්ශයක  පවත්වන උත්සවයකට තමන්ගේ මෑණියන්ට ආරාධනාවක් කල නීරෝ එහිදී ඇය ඉතාමත් සතුටට පත්කොට කලින් කරන ලද කුමන්ත්‍රණයක් මගින් සාගරය මැදදී විනාශ වෙලා යන විදියට විශේෂයෙන්ම හදපු ඔරුවකට ඈව නංවා නිවෙස කරා එව්වා.  රාත්‍රියේදී ගැඹුරු දියේ ගමන් කරමින් තිබු එම ඔරුව හදිසියේම විනාශ වෙලා ගියා.  නමුත් වෙරළට පීනා ආ ඇග්රිපිනා, එය නීරෝ තමන්ට ඇටවූ උගුලක් කියලා තේරුම් අරගෙන පසුදා උදෙන්ම තමන් ඒ දරුණු අනතුරින් බේරුනු බව සිය පුතුට දන්වා යැවුවා.  නමුත් පසුව නීරෝ තමන්ගේ මෑණියන්ව මරා දැම්මා.  මේ විදියට තමන්ගේ මෑණියන්ව මරා දැමීමෙන් නීරෝ කොයිතරම් කෘෘර පාපතරයෙක්ද කියලා මුළු ලොවටම පෙන්වා දුන්නා.

නීරෝගේ තරුණ ජීවිතයත් අපූරු සිද්ධීන්ගෙන් පිරුණු එකක් වුනා.  ඔහුට අවුරුදු 15දී ක්ලෝඩියස්ගේ  දහතුන් හැවිරිදි දියණිය වූ ඔක්ටාවියා  කුමරිය සමග විවාහ වුනා.  ටික කාලයකින්ම ඔහු ඒ කුමරිය පිළිකුල් කොට රාජ්‍යෙයන් පිටුවහල් කරනු ලැබුවා.  ඉන්පසුව ඇයවත් මරා දමනු ලැබුවා.  දෙවන වරට ඔහු විවාහ වුනේ පොපයා නම් වූ කුමරියයි.  තමා පමා වෙලා මාලිගයට පැමිණි අවස්ථාවක ඉන් කෝපයට පත්වූ නීරෝ ඇගේ ජීවිතයත් සදහටම නිහඩ කලා.  ඔහුගේ තුන්වන බිරිද කලින් විවාහ වෙලයි හිටියේ.  ස්ටාටිලා නම් වූ ඇයව ලබා ගැනීම සදහා ඇගේ නීත්‍යානූකූල ස්වාමියාව මරා දමන්නට නීරෝ පසුබට වුනේ නැහැ. 

නීරෝගේ පාලන කාලයේදී නිකුත් කරපු තඹ කාසියේ ඔහුගේ රූපය සටහන් වෙලා තියෙනවා. ( හැබැයි මේ කතා අහනකොට රූපය දකිනවා තියා ඒ පැත්ත බලාගෙන බත් කන්නවත් හිතෙන්නේ නැහැ නේද?)  ඒ අනුව වැඩුනු ගවයෙකුගේ ගෙල වගේ ග්‍රිවයකුත්, ඉදිරියට නෙරා ගිය පළල් නළල් තලයකුත් දැඩි මුඛයකුත් ඔහුට තිබුනා.  ඔහුගේ දෙනෙත් අළු පැහැයක් ගත් අතර කෙස් දිය රැළි වගේ කැරළි ගතියකින් යුක්තව පිහිටා තිබුනා.  ඇතැම් කාසිවල දගරයක් වගේ රැවුලක් තිබුන බවකුත් සදහන් වෙනවා.

නීරෝගේ රාජ්‍ය පානලයේ මුල් කාලය ඉතාමත් සමෘද්ධිමත් හා සාමකාමී ලෙස ගතවූ බව සදහන් වෙනවා.  ඔහුගේ ගුරුතුමන්හා උපදේශකයා වූ සෙනිකා ගේ උපදෙස් අනුව යමින් රාජ්‍යය තුල බදු ප්‍රමාණය අඩු කලා.  දුප්පත් මිනිසුන්ගේ තත්වය නගාසිටුවීමට කටයුතු කලා.  දක්ෂ හා කාර්යක්ෂම නිලධාරීන් විදේශයන්හි ආණ්ඩුකාරයන් විදියට පත්කලා.  එසේම නීරෝත් ඉතාමත් උනන්දුවෙන් හා උද්යෝගයෙන් යුතුව කටයුතු  කලා.

නීරෝගේ අනෙක් දක්ෂතා ගැන කතා කරනවා නම් ඔහු කුඩා කාලයේ ඉදන්ම කලාව කෙරෙහි විශේෂ නැඹුරුවක් දැක්වූ පුද්ගලයෙක්.  චිත්‍ර ඇදීමේදී මහත් දස්කම් දක්වා ඇති ඔහු ප්‍රතිමා නෙලීමට හා සංගීතය කෙරෙහි විශේෂ ඇල්මක් දැක්වූවා.  සාහිත්‍ය කෙරෙහි ඇල්මක් දක්වපු ඔහුගේ අතින් නිර්මාණය වූ කාව්‍ය රචනා ඉතා උසස් මට්ටමක වූ බව කිව යුතුමයි.  ඔහු සංගීතය ඉගෙන ගත්තේ රෝමයේ සිටි දක්ෂතම සංගීතඥයාගෙනුයි.


ඔහු මාලිගාවේ උයන් වතුවල නිතරම විවෘත රගමඩල සාදවා ඒවායේ නොයෙකුත් වැයුම් ගැයුම් කිරීමට මහජනතාව පෙළඹෙවුවා.  ඒවගේම සංගීත වැඩසටහන්වලට ඔහු නිතර ඉදිරිපත් වුනා. 

කලාව හා සාහිත්‍ය පමණක් නොවෙයි ක්‍රීඩාව කෙරෙහිත් ඔහුගේ දක්ෂතා පැහැදිලිවම පෙනෙන්නට තිබුනා.  ඔහු අශ්වරථ ධාවනයෙහි හසලයෙක් වුනා.  පසු කාලයක පමණ ඉක්මවා වියදම් කිරීමට පෙළඹුන ඔහු නගර, නැව්, ගොවිපළ ආදී වටිනා දේ පරදුවට තබමින් සූදු කෙළියටත් යොමු වුනා.  සිය ගණන් රිය මැදිරි ඇති අසුන් යොදාගෙන විනෝද ගමන් යන එක පුරුද්දක් කරගත්තා.  මේ විදියට විය පැහැදම් කිරීම නිසා ඔහුට හමුදාවේ නිලධාරීන්ට වැටුප් ගෙවීමට හැකියාවක් තිබුනේ නැහැ.  අන්තිමේදී ඔහු කලේ  බොහෝ පොහොසතුන්ගේ දේපළ හා ධනය රාජසන්තක කිරීමයි.  එක අවස්ථාවක අප්‍රිකාවේ හා රෝමයේ ඉඩම් හිමි ධනවතුන් හය දෙනෙකු මරා දමා ඔවුන්ගේ දේපොළ කොල්ලකනු ලැබුවා.  පූජනීය ස්ථානවල තිබුණ වස්තුව සොරා ගත්තා. 

ක්‍රි.පූ. 64 ජුලි 18 වෙනිදා රාත්‍රියේ දී රෝම නගරයේ ඇති කඩ සාප්පු සමූහයකින් ආරම්භ වෙච්ච ගින්නක් මොහොතකින් මුළු නගරයම වෙලා ගත්තා.  නීරෝ රෝම නගරය දැවෙද්දී ඒ දිහා බලාගෙන වීණාව වාදනය කරමින් බොහෝම විනෝදයෙන් කාලය ගත කලා.  මේ ගින්න සතියක් පුරාම පැතිර ගියා.

පසුව විනාශ වුන රෝම නගරය නැවත ගොඩනගන්නට ඔහු මහත් උනන්දුවකින් කටයුතු කලා.  මංමාවත්, ගොඩනැගිලි, උයන්වතු, පොකුණු මිදි වතු ආදිය තනා රෝම නගරය“ නීරෝ පොලිස්   යනුවෙන් නම් කලා.  ඉතාමත් අලංකාර විදියට තනා නිම කරන ලද නගරය සුරපුරක් විදියට තමයි දිස්වුනේ.  නගරය මැද අලංකාර විදියට මාලිගාවක්ද තනා නිම කලා.  අඩි එකසිය විස්සක් පමණ විශාල තමන්ගේම ප්‍රතිමාවක් මේ මාලිගාවට පිවිසෙන දොරටුව ඉදිරියේ ඉදි කලා.  ඔහු මේ මාලිගාව හා ප්‍රතිමාව ඉදිකිරීමෙන් පසුව ඒ දිහා බලාගෙන බොහොම විවේකී සුවයෙන් කල් ගෙවූ බව තමයි සදහන් වෙන්නේ.

මේත් එක්කම නීරෝ අධිරාජයාට මහජනතාවගෙන් එල්ලවන චෝදනාවන් වැලැක්වීමට හැකියාවක් තිබුනෙත් නැහැ.  නීරෝ උවමනාවෙන්ම නරගයට ගිනි තිබ්බා කියලා ඔවුන් ප්‍රසිද්ධියේම චෝදනා කරන්නට පටන් ගත්තා.  ඔහුගේ අලුත් මාලිගාව හදන්නට මෙසේ කල බව තමයි ඔවුන් කිවුවේ.  මුළු රාජ්‍යය පුරාම නොසන්සුන්තා ඇති වෙන්නට පටන් ගත්තා.  ඔහු මේ වරද ක්‍රිස්තු භක්තිකයන් පිට පැටෙව්වා.  එසේ වරද පැටවූ පසු ඔවුන්ට බොහෝ සේ වද හිංසා පැමිණෙවුවා.

මේ විදියේ අමානුෂික ක්‍රියාවන් නිසා ජනතාව බොහෝම කලකිරීමෙන් තමයි හිටියේ.  ඔහුට බොහෝ සතුරන් ඇතිවුනා.  නීරෝගේ රාජ්‍ය පාලනයේ අවසාන කාලය ඉතාමත් භයානක හා අමානුෂික මුහුණුවරක් ගත්තා.  තමන්ගේ වටේ සිටින අය කෙරෙහි අංශු මාත්‍රයක හෝ සැකයක් ඇතිවුවහොත් ඔවුන්ට විවිධ වධ දී මරා දමන්නට කටයුතු කලා.  ඇතැම් පුද්ගලයින්ට සිය දිවි නසා ගන්නට අණ කලා.  තමන්ගේ උපදේශකයා හා ගුරුවරයා වූ සෙනිකාගේ තත්වයත් මීට වඩා වෙනස් වුනේ නැහැ.  නීරෝ විසින් ඔහුගේ වැලමිට කපා දැමීමට අණ දුන්නා. 

සෙනෙට් සභිකයින්, ආරක්ෂක භටයින් මේ ආදි සියලුම තනතුරු වලට අයත් වූවන් මේ වදහිංසා වලට ලක්වුනා.  ඔවුන්ට තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට හැකියාවක් හෝ අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

මේ කෘෘරකම් විදගන්නට අපොහොසත්වුනු වැසියන් ඔහුට විරුද්ධව සටන් පාඨ හැම තැනකම ඇලෙව්වා.  අවසානයේදී ගවුල් නම් ස්ථානයේදී රෝම හමුදා අධිරාජයාට විරුද්ධව කැරළි ගැසුවා.  මේ කැරැල්ලට අප්‍රිකාවේ හා ස්පාඤ්ඤයේ හමුදාවන් පවා එකතු වුනා.

රෝම නගරය හමුදාව විසින් අල්ලා ගත්තාට පස්සේ තමන්ව ආරක්ෂා කරන්නැයි මාලිගාවේ ආරක්ෂක භටයින්ගෙන් නීරෝ ඉල්ලා සිටියත් ඔවුන්ද ඔහුව හැර ගියා.  මහජනයාගෙන් තමන්ට සමාවක් ඉල්ලා දෙන ලෙස කියමින් ලියවිල්ලක් සකස් කල නීරෝ එය ප්‍රකාශ කිරීමට මහජන ගැලරිය වෙත යාමට බියක් දැක්වූවා. 

පසුව අසුපිට නැග රහසේම පලාගිය නීරෝ තමන්ගේ මාලිගාවේ සේවය කල වහල් මිනිසෙකුගේ නිවසට ගොස් එහි සිටියවුන්ගෙන් තමා වැළලීමට එම නිවස පිටුපස වලක් කපන ලෙස ඉල්ලීමක් කලා.  ඔවුන් එසේ කරන අතර  තමයි නීරෝ පොදු ජනතාවගේ හතුරෙක් විදියට සලකලා සෙනෙට් සභාව විසින් තීන්දුවක් දුන් බව දන්වමින් හසුන් පතක් පණිවුඩ කරුවෙකුගේ මාර්ගයෙන් ඔහුට ලැබෙන්නේ.  තමන්ගේඉනේ හංගාගෙන හිටිය කිනිස්ස දිහා බලාගෙන හිටියත් ඔහුට ඉන් ඇන ගැනීමට තරම් ධෛර්යයක් තිබුනේ නැහැ. 

ඒත් එක්කම අසුන්ගේ කුර හඩක් ඇසීමෙන් තමන් සැගව සිටින ස්ථානය තමන්ගේ සතුරන් විසින් දැනගෙන සිටින බවත්, තමාව පාවා දී ඇති බවත් තේරුම් ගත් නීරෝ අතේ තිබුණ කිනිස්සෙන් තමන්ගේ බෙල්ලට ඇණගත්තා.  මහා අධිරාජයෙකු, සංගීතඥයෙකු, ප්‍රතිමා ශිල්පියෙක්, ක්‍රීඩකයෙක් සංගීතකරුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත් නීරෝ රෝම ඉතිහාසයේ නොමැකෙන නමක් සනිටුහන් කරමින් සදහටම මෙසේ දෙනෙත් පියා ගත්තා.