Friday, December 16, 2011

උතුර දකුණ මාරු වෙලා


අපි ඉතිං හිටිගමන් පොඩි ජොලියක් දාන්න හිතුනම කස්ටිය එක්ක කාගෙ හරි ගෙදරකට එකතු වෙනවා. මේත් ඒ වගේ ගිය වෙලාවක දැනගන්න ලැබුණ කතාවක් තමයි. කතා නායකයත් අපේ හොදම යාළුවෙක්. 

එයා දවසක් එයාගේ යාළුවෝ එක්ක කාගෙදෝ ගෙදරකදි සෙට් වෙලා.  එහෙම කිව්වම කවුරුත් දන්නවනේ ආයේ තේරුම් බේරුම් කරන්න දෙයක් නැහැනේ. හැබැයි ගෙදර උන්දැයි දරුවොයි මේ සාජ්ජෙට ගියේ නැහැ.  යාළුවා ගෙදර ආවේ රෑ දොගොඩහරියේ. (හතරගාතෙන් වගේ...නෑ...වගේ.)

එයා ගෙදර එනකොට ඉස්සරහා දොර වහලා ගෙදර ඇත්තෝ නින්දේ.  ඒ නිසා අඩවල් කරලා තිබුණ පිටිපස්සා දොරෙන් ගෙට ඇතුළු වෙලා ඒ ඇදුම් පිටින්ම ඇදට වැටුණා.  මොකද මෙයා ඉතිං උතුර දකුණ මාරු වෙලානේ හිටියේ.  නෝනා ඇදේ ගොරව ගොරව නිදි. එයාට ටිකක් එහාට කරලා කොට්ටයක් බදාගෙන යාළුවාත්  නිදි.

ටික වෙලාවකින් නෝනා බැන බැන ඇදෙන බැහැලා යනවත් ඇහුණා.  ඒත් අපේ යාළුවා ඔව්වා ගණන් ගත්තේ නැහැ. ඇද බදාගෙන හොදටම නිදි . 

මහ රෑ උනාට නිකන් හිටියේ නෑ මෙයා ඉතිං වඩු බාස්ලටත් කට උත්තර නැති වෙන්න ලී ඉරනවා.  ඔහොම නිදාගෙන හිටිය මෑන්ස්ට එකපාරටම චූ බරක් ආවා.  එයා  දනි පනි ගාලා නැගිට්ටා.  වැටී නොවැටී වගේ මේස පුටු වල හැප්පි හැප්පී කළුවරේම දොරත් ඇරගෙන ගෙයි පඩිය උඩ ඉදන්ම මුත්තරා කොලාය කියමුකෝ.

ආයෙත් ඇවිත් ඇදේ හොදට හරි බරි ගැහිලා නිදාගත්තා.  ආයේ ඉතිං ඇද බෙදාගන්න කියලයෑ නෝනත්  ගිහින් එහායින් තිබුණ ලී බංකුවක් උඩ නිදි.  උන්දැට ඔහේ ඉන්න ඇරලා මෙයා මෙයාගේ පාඩුවේ නිදා ගත්තා.  

ඔන්න පහුවදාට එළි වුනා. දැන් කුස්සියේ බරටම වැඩ. ඇයි දරුවෝ උදේ ඉස්කෝලෙ යන්න ඕනැනේ.  ඉක්මනින්ම උයාගෙන මුන්දැගේ නෝනා දරුවන්වත් මුහුණු සෝදලා ඇදුම් අන්දවන්නත් සූදානම්.  ඒත් අපේ යාළුවා තාමත් නිදි.

ඕං ගල් බොරළු වැටෙන්න පටන් ගත්තේ ඒ වෙලාවේ තමයි.  මුලින්ම නැන්දම්මා.  

“දේවිකා බලාපන්කෝ උඹේ මිනිහා නිදාගෙන ඉන්නේ කොහේද කියලා.  
“ඔන්න ඔහේ නිදාගත්තාවේ අම්මේ.  පාන්දර අම්මා නැගිට්ටම ඇදට යන්න ඇති.
“පාන්දර....මොන පාන්දරද යකෝ.  මූ කණමදයා වගේ බීගෙන ඇවිත් මාවත් එහාට තල්ලු කරලා මගේ ඇදේ ලැග්ගා. බීලා ගන්දස්කාරේ බෑ.....

“ඇහ්....නෑ.....එතකොට අම්මා කොහේද නිදාගත්තේ. (යාළුවාගේ නෝනා)
“මූ මෙතන ලැග්ගට පස්සේ මටත් ඕකේ යන්න ඇහැක. මම ගිහින් බංකුවේ නිදාගත්තා.  අම්මෝහ්......මගේ කොන්ද......(ඒ නැන්දම්මා)

නැන්දම්මාගේ ජවනිකාව එතනින් ඉවර වුනා.  

ළමයි දෙන්නා අන්දන්න ඕන නිසා දේවිකා අක්කා එයාලගේ ඇදුම් අරගන්න ගියා. ඔන්න වැඩේ දිගටම පත්තු වුනේ එතකොට තමයි.  

“බලාපල්ලකෝ....රෑ දෙගොඩහරියේ කණමදයා වගේ බීගෙන ඇවිත් අම්මගේ ඇදේ ලැග්ග මදිවට කොරලා තියෙන හරිය.

“කෑගහන්න එපා බං. ඕක ඉතිං බිව්වේ ඊයේ විතරක්යෑ.....

“බීපු එකනං මොකද්ද මේ කොරලා තියෙන වැඩේ හැටියට. මේ බලන්නකෝ අම්මේ.....
“ඇයි ඒ පාර මක්ක කරලාද?

“මේ මිනිහා වෙරිමරගාතේ මුත්තරා කරලා තියෙන්නේ අල්මාරියේ දොර ඇරන්නේ......

1 comment:

  1. හත්තිලවුවයි !!!!
    බීලා නැති වෙන්නම. ඒකනේ ඔප්ය අසිහියෙන් වගේ වැඩ කොරලා තියෙන්නේ.
    මට මතකයි එක බ්ලොග් පෝස්ට් එකකද මන්දා තිබ්බා. වාහනේ යන ගමන් එකෙක් බීලා. ඒකට වමනේ දාන්න නවත්වන්න කියලා. වාහනේත් මගදි නවත්තලා. ඊට පස්සේ අරූ වාහනෙන් බැහැලා ජනේලයක් ඇරලා වාහනේ ඇතුලට වමනේ දාලා. :)

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!