Thursday, June 9, 2011

බසයට ගොඩවුන රස කවි

          ඇගිල්ලක් ගැසිමට තරම්වත් ඉඩක් නොමැති තරමට බසයේ සෙනග පිරී ඉතිරී ගෙසිනි.  අබ ඇටයක් වැටුනත් එයත් කාගේ හෝ ඔඵවකට මිස බිමට නම් නොවේ. එතරමටම බසයේ ඉඩ තිබේ. 

          “නගින්න.....නගින්න........ලගින් බහින අය ගොඩක් ඉන්නේ.   ඔය පොල්ල අල්ලගෙන ඉස්සරහට යන්න.

          “අල්ලනවා තියා පොල්ලක් තියෙනවදවත් පේන්නේ නැහැ ඕයි. මූට නම් පිස්සු ?

          නමුත් කොන්දොස්තර මහතා ගෝණියට තණකොළ ඔබන ගානට මගීන් පටවයි. එතකොටමපොල්ලේ අමාරුවෙන් එල්ලී හුන් මගියෙක් තමන්ගේ හඩ අවදි කලේ මෙසේය.

          බස් හතරක සෙනග එකකට               පටවනවා
          ටාගට් ගන්න කොන්දොස්තර     වෙහෙසෙනවා
          ගමන යන්න පෙර බාගෙට                පනයනවා
          කොන්දොස්තර මල්ලී උඹ බුදු              වෙනවා

       එවිටම වාගේ තවත් මගියෙක් සිය සිය අදහස් පල කලේය..

         බස් රිය ඇතුලේ තෙරපෙන අපි කවුරු         වැනී
         මස් කඩයට දක්කන ගොන්          රැලක්      වැනී
         මේ ලෙස යන ගමන හරියට කුමක්              වැනී
         නිරයට පණ පිටින් ඇදගෙන   යනව            වැනී

          තම පෙම්වතියට ඉදගන්නට අමාරුවෙන් අසුනක් ලැබෙද්දී බොහෝ දුරක් හිටගෙන ආ පෙම්වතෙක් තම පෙම්වතිය ඉද සිටි අසුනේම අනෙක් පස නිදිකිරන පුද්ගලයා දෙස බලා මේ ලෙස තමාගේ දුක කීය.

           මූ නම් නිදි                   කිරයි
           දැන් නම් ගමන         තිත්තයි
           නැතියෙන් මෙමට    අසුනක්
           ඉන්නම් විලස        පඹයෙක්

         එවිටම වාගේ බස්රියේ මැද හරියට වන්නට පොත් බෑගයක්ද ලයට තුරුඵ කරගෙන සුදුගවුම එහේ මෙහේ වෙතැයි බියෙන් එයත් එක් අතෙකින් අල්ලාගෙන සිටින පාසැල් සිසුවියක් දුටු තරුණ ගැටයෙක් මෙසේ කීවේය.

          කණුවක්  බදාගෙන  තනියම  කිමද     නගේ
          අල්ලාගෙන ගවුම අතකින් කිමද          නගේ
          කොල්ලලෙක් නැති නිසා හිත පාරවයි මගේ
          අතරමගින් බැහැලා අපි යමුද              නගේ

          බොහෝම පියකරු සිනහවකින් මුව සරසාගත් ඇය ඔහුට පිලිතුරු දුන්නේ මේ අයුරිනි.

          කණුවට බර වුනේ බිම පෙරළෙන       හින්දා
          අල්ලාගෙන ගවුම එය උඩ යන            හින්දා
          ඊළග නැවතුමෙන් කොල්ලා නැග්ගම පෙන්දා
          කණ රත් වෙන්න මොනවත් ඕනද       මන්දා

          මෙය ඇසු තරුණ කොලුවාගේ මුහුණ කජු පුහුලමක් බදුවිය.  අනතුරුව බසයේ පිටුපසම අසුනේ කෙළවරේ තම පෙම්වතියගේ තුරුල්ලේ සිටි තවත් පෙම්වතෙක් මෙසේ කියනවා ඇසුනි.

          ඕනෑ තරම් බස් එක තුල                   පිරීයන්
          ඇය තුරුලේ මට සැනසුම              ලැබීයන්
          ඉබි ගමනින් හෙමිහිට මෙය             ඇදීයන්
          නැත්නම් අතර මග බස් එක           කැඩීයන්

          පාපුවරුවේ එල්ලීගෙන අනිත් අතින් සිය ගමන් මල්ලද අමාරුවෙන් රැගෙන යන තවත් අයෙක් මේ කවි
හවුලට එක්වූයේය.
       
          තව නැග්ගොතින් ඇතුලේ උන්      තැම්බේය
          තව ඇල වුනොත් බස් එක නම්     පෙරලේය
          පිටතින් මහ පාර වැටුනොත්          වැනසේය
          මරණ බයෙන් මම පා පුවරුවෙ             යාය

          මේ අතරේ අනෙක් මිනිසුනගේ සාක්කු පරීක්ෂා කරන මහත්තැන් කෙනෙක් ඔහුගේ අදහස පලකලේ මෙසේය.

          එකා පිට එකා වැටි වැටි            පොරකන්න
          පර්ස් වල ඉදන් නිල් කොල      හිනැහෙන්න
          ඒවා මගේ අගහිගකම්                    දුරලන්න
          කොන්දොස්තර මතු භවයක බුදු      වෙන්න

       මෙසේ සෙමෙන් සෙමෙන් සිරවෙමින් තෙරපෙමින් බසය ගමනාන්තයට ලගාවෙමින් තිබුනු අතර මගීන් තමන්ගේ ගමන් මලු සූදානම් කරගත්හ.  තිබුනු සාමකාමී බව බිදී එකිනෙකා පෙරලමින් එකා දෙන්නා බිමට බැස්ස අතරේ මේ සියලු කතන්දර වලට කන්දෙමින් බසය පදවාගෙන ආ රියදුරු මහතා බසින්නට පොරකන මගීන් දෙස බලමින් සිය හඩ අවදි කලේය.

           කදු වටවංගු වලවල්වල බැස                 යසට
           නලවා පද්දමින් උන්චිල්ලක්               ලෙසට
           අතපත නොකඩමින් අරගෙන ආවට මෙහෙට
           වැදලා ගියොත් නරකද විත් මා              ලගට

                  සියලු මගීන් බැසගිය පසු අවසානයේ ඉතිරිවූයේ කොන්දොස්තර තැන හා රියදුරු තැනයි. ඔවුන් දෙදෙනා සතුටු සිනා වගුරුවමින් මොන මොනවාදෝ මුමුණමින් තේ කඩයක් තුලට රිංගනු සිතුවිල්ල දුටුවාය.




        (අදටත් ගම් මැදින් ගමන් ගන්නා බස්රියේ නම් මේ සුන්දරත්වය දැකිය හැකිය. එහෙත් නගර මැදින් ගමන් ගන්නා බස්රියේ රියදුරු තැන මාර දිව්‍යපුත් ගේ සොයුරකු වැනිය. කොන්දොස්තර තැන ඔහුගේ වන්දිභට්ටයෙකි. අපි මගමරුවා travels හි ගමන් ගන්නා අහිංසක මගීන් වෙමු.)

2 comments:

  1. බලාගෙන ගියාම මේ බස් කෙරුවාවෙන් වාසි ගන්නේ ආදරය කරන අය නේ. අනිත් උන්ට හුලන් මේ අයට නම් මරු !!!

    අම්මෝ මටත් බස් වල ගිහින් එපා වෙලා.

    ReplyDelete
  2. දැන් බස් එකේ යන එන එකේ නරක් වෙලා තියෙයි මෙයැයිට

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!