Saturday, June 18, 2011

එකෝමත් එක රටක.............

  
එකෝමත් එක රටක එකෝමත් එක කාලෙක අම්මෙකුයි තාත්තෙකුයි හිටියා.   මේ දෙන්නා විවාහ වෙලා ටික දිනකින් එයාලගේ පුංචි කැදැල්ලට  පුංචි දූ පැටික්කියෙක් ආවා.  ඉතින් මේ අම්මටයි තාත්තටයි හරිම සතුටුයි.    ඔන්න ඉතින් මේ පුංචි දෝණි අකුරු ඉගෙන ගන්න පටන් ගත්තා. එයාගේ වයස සම්පූර්ණ වෙනකොට මේ දෙමාපියොත් අනෙක් දරුවන් එක්ක මේ පුංචි දූ කුමාරිව නගරයේ තියෙන හොදම පාසැලකට දැම්මා. ඇයත් පාසැල් යන්න අකමැත්තක් දැක්වුවේ නැහැ. මේ පුංචි දෝණි හොදින් පාසැල් වැඩ කටයුතු කලා. ඇය ඒ පාසැලේ දීප්තිමත් ශිෂ්‍යාවක් වුණා. ඉතින් මේ අම්මටයි තාත්තටයි හොදටම සතුටුයි.

ඔහොම ඉන්නකොට ඔන්න ඉතින් ඇය 6වසරට සමත් වුණා. අද වගේ නෙමෙයි ඒ දවස්වල ශිෂ්‍යත්ව විභාගය තිබ්බේ 6 වසරෙදී. ඉතින් මේ පුංචි දුව ඒ විභාගයෙනුත් සමත් වෙලා නගරයේ තිබුණ උසස් විද්‍යාලයකට ඇතුලු වුණා. ඇය ඇගේ ඉගෙනීමේ කටයුතු හොදින් කරගෙන ගියා.  මේ පුංචි දුව දැන් ඇහැට කණට පෙනෙන ලස්සන දැරියක්. ඇය ටිකෙන් ටික උස් මහත් උණා. සමහරු ඇය දෙස විමසිල්ලෙන් බලාගෙන හිටියා. පංතියෙන් පංතියට ඇය ඇගේ ඉගෙනීමේ කටයුතු නිම කලා. විභාග සියල්ල සමත් වුණා.  හැබැයි මොන දේ වුනත් මේ අම්මයි තාත්තයි මේ දෝණිව තනියෙන් නම් කොහේවත් ඇරියේ නැහැ. හැම වෙලාවෙම ඇගේ තනි නොතනියට කවුරුන් හෝ කෙනෙක් හිටියා. 

ඉතින් මේ ලස්සන පුංචි ගෑනු ළමයා දැන් ලොකුයිනේ.  අවුරුදු 20ක විතර තරුණියක්.  ඇය පාසැල් අධ්‍යාපනය අවසන් කරලා යතුරුලියනය ඉගෙන ගන්න ඇගේ යාඵවන් එක්ක අමතර පංතියකට ගියා.  මේ පංතිය තිබුණේ රජයේ ආයතනයක වෙන් කරපු පුංචි කොටසක.  ඉතින් කොහොම හරි කාලය හෙමින් හෙමින් ගතවෙලා ගියා. ඔන්න ඉතිං ටික දවසක් යනකොට මේ කන්තෝරුවේ වැඩ කරන මහත්තැන් කෙනෙකුට මේ ගෑනු ළමයා ගැන හිත ගියා. මේ දෙන්නා කතා බහ කලා. හිනා වුණා. කාලය ගෙවීගෙන ගෙවීගෙන ගිහින් වසර 2කට පසුව මේ ගෑනු ළමයා පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන්න ගියා. ඊටත් වසර 3කට විතර පස්සේ අර කන්තෝරු මහත්තැන් දෙපැත්තෙම දෙමාපියන්ගේ අවසරය ඇතිව මේ තරුණිය විවාහ කරගත්තා.

දැන් ඉතින් මේ දෙන්නාට බොහෝම සතුටුයි.  මේ දෙන්නා විවාහ වෙලා ටික කාලෙකින් මේ තරුණිය තමන්ගේ රැකියාවෙන් අයින් වුණා.  ඊටත් ටික කාලෙකට පස්සේ  මේ පුංචි කැදැල්ලට තවත් අමුත්තෙක් ආවා.මේ අමුත්තා ඔවුන් ළගට ආවේ හරියටම ඇසල පෝය දවසක. තමන්ගේ දියණිය ගෙනාපු අලුත් අමුත්තා දිහා ඇගේ දෙමාපියන් බොහෝම සෙනෙහසින් බැලුවා.  හැමෝම හිටියේ බොහෝම සතුටින්.  ගෙදරට අලුතින් ආ සිගිත්තා බලන්න යාඵවෝ, නෑදෑයෝ, බොහෝම දෙනෙක් ආවා.  තෑගි බෝගත් බොහෝමයක් ලැබුණා.

හරියටම මේ සිගිති පුතා ඇවිත් මාස 4කට පස්සේ මේ අම්මටයි තාත්තටයි පුංචි පුතාගේ වෙනසක් දැනුනා. ඉතින් ඒ ගොල්ලන් පුංචි පුතත් අරගෙන රටේ පිලිගත් දොස්තර මහත්තයෙක් ලගට ගියා.  ඔහු පුංචි පුතාව හොදින් බලලා ඔහුව රටේ තියෙන පුංචි දරුවන්ගේ රෝහලට ඇතුලත් කරන්න කියලා කිව්වා.  කොහොම හරි මේ පුංචි පුතයි එයාගෙ අම්මයි මාසෙකට ආසන්න කාලයක් අර රෝහලේ හිටියා. අවසානයේදී දොස්තර මහත්තුරු කිව්වේ බබා අනෙක් ළමයින්ගේ තරමට මනසින් වැඩෙන්නේ නැති බවයි. එයාගේ බාහිර වැඩ පරක්කු වෙයි කියලත් කිව්වා. හැබැයි මේ පුංචි දරුවා දිහා බැලුවම නම් කිසිම කෙනෙකුට මේ බවක් පෙනුනේ නැහැ. මොකද පුංචි පුතා කායිකව හොදින් වර්ධනය වුණා.  ඔහු හොද හුරුබුහුටි පුංචි දරුවෙක්.

මේ පුංචි පුතා හිනාවෙනවා, අත්පුඩි ගහනවා, දගලනවා.  හැබැයි, එයා අනෙක් දරුවන් වගේ නියම කාලෙදි පෙරලුනේ නැහැ. වාඩි වුනේ නැහැ. ඇවිදින්න උත්සාහ කලේ නැහැ. ඉතින් මේ අම්මටයි තාත්තටයි හරිම දුකයි.  ඒත් ඉතිං මොනවා කරන්නද? හැම මාසෙකට හරියටම දිනේට අම්මයි තාත්තයි පුංචි පුතත් අරගෙන ක්ලිනික් ගියා. ඒත් කිසිම වැඩක් වුනේ නැහැ. එක එක්කෙනා කියන කියන තැන් වලට මේ දරුවාව එක්කගෙන ගියා. නමුත් වැඩක් වුනේම නැහැ.

පුතාට අවුරුදු 3ක් වෙනකොට මේ ගෙදරට තවත් අමුත්තියෙක් එකතු වුණා. ඔන්න ඉතිං අම්මටයි තාත්තටයි දැන්නම් ටිකක් සතුටුයි.  පුංචි පුතාට අවුරුදු 5ක් විතර පිරෙන කොට ඔන්න එයා තනියම වාඩිවෙන්න පටන් ගත්තා. මේ අතරේ එයාගේ ඇගේ සෙම ගතිය වැඩි වෙලා එයා නිතර අසනීප වෙන්න පටන් ගත්තා.  ඉතින් මාසෙකට දවස් කිහිපයක් මේ පුංචි පුතා එක්ක රෝහලේ නතරවෙන්න අම්මට සිදු වුණා. ඒ අතර ගෙදරට ආව අලුත් පැටික්කිත් දැන් ටික ටික ලොකුයි.

අයියා ගැන මේ පුංචි පැටික්කිටත් තේරිලාද කොහෙද එයාගෙ අම්මට එයාගෙන් පුදුම සහයෝගයක් ලැබුනේ.එයා එයාගේ අයියට පුදුම විදියට ආදරේ කලා.  බුදුන් වදින වෙලාවට එයා අයියව ඉක්මනට සනීප කරලා දෙන්න කියලා කිව්වා.  එයා අයියට කවදාවත් ගැහුවේ නැහැ. වෙනකෙනෙක් අයියට සැර කලත් එයාට තරහ යනවා. ඒ තරමටම මේ පුංචි නංගි අයියට ආදරෙයි.

දැන් ඉතින් කාලය ගතවෙනවත් එක්කම මේ අයියයි නංගියි ටික ටික ලොකු වෙලා අයියට අවුරුදු 8ක්, නංගිට අවුරුදු 6ක් වුණා. නංගිව ලගම තියෙන පාසැලකට දැම්මා.  මේ අම්මයි තාත්තයි කිව්වේ පුංචි කාලෙදි ළමයින්ව උවමනාවට වඩා වෙහෙසවන්න ඕනේ නැහැ කියලයි. පුංචි නංගි පාසැල් ගිහින් එන්නේ එයාගෙ අම්මා එක්ක. ඒ වෙලාවට අයියට බලාගන්නේ එයාලගේ අත්තම්මා.  අත්තම්මයි සීයයි මේ අයියාටයි, නංගිටයි හරිම ආදරෙයි.      

අයියා ඉතින් නිතර අසනීප වෙනකොට එයාගෙ අම්මා එයාව ඉස්පිරිතාලෙට එක්කගෙන යනවා. සමහර වෙලාවට ඒ ගොල්ලන්ට දවස් ගණන් නතර වෙන්න වෙනවා.  ඒත් ඉතිං මොනවා කරන්නද අයියාව සනීප කරගන්න ඕනෙනේ. 

ඔන්න ඉතිං දවසක්දා නංගිගේ මොන්ටිසෝරියේ  යාලුවෙකුගේ අම්මා කෙනෙක් නිකමට වගේ මේ ගෙදරට ගොඩවුණා. එයා ආවේ එයාගේ පුතාට පාසැල් ඇරෙන වෙලාවට පුතාව ගෙදර එක්කගෙන යන්නත් එක්ක. මේ අතරෙදි  ඒ ආපු කෙනාට ඇහුණා අර අයියා කහිනවා. මොකද ඒ වෙනකොටත් එයාට හොදටම කැස්ස හැදිලයි තිබුණේ.  ඉතින් අර ආපු කෙනා  මේ බබාගේ අම්මගෙන් ඇහුවා

           “දොස්තර කෙනෙක්ගෙන් ඉල්ලලා බෙහෙතක් විදින්න බැරිද?

එතකොට බබාගේ අම්මා ඇහුවා ඇයි බෙහෙත් විදින්නේ කියලා.

           “නෑ ඉතිං ඔහොම ඉන්නකොට කාටත් කරදරයිනේ. මැරෙන එක එයාටත් හොදයිනේ. මට නම් ඔයා වගේ ඔහොම සලකන්න බැහැ.  ඔයා වගේ මම නම් බලන්නේ නැහැ.  බෙහෙතක් විදිනවා.  එතකොට එයාටත් ලේසියිනේ. අවුරුදු 8ක් කියන්නේ පොඩි කාලයක්ද? ඇවිදින්නේ, කතා කරන්නේ නැතිව එකතැන ඉන්න කොට කොහොම බලාගන්නද?

එතකොටම ඒ කතාව අහපු අම්මගේ ඇස් වලට කදුඵ පිරෙන්න පටන් ගත්තා.  ඒ එක්කම ඇයට අර ගෑනු කෙනා ගැන ලොකු තරහකුත් ඇති වුණා.  අම්මට අර ගෑනු කෙනාව බැනලා එලවගන්න තරමට හිතට තරහක් ආවා.  ඒත් එයා මොනවත් කිව්වේ නැහැ.

            “අනේ ..........මම නම් එහෙම කරන්නේ නැහැ. මම එයාව මගේ ඇස් දෙක වගේ බලාගන්නවා.මට සතුටුයි එයා මගේ පුතා වුන එකට. මගේ පුතාට මම හොද අම්මා කෙනෙක්. අම්මලාට දරුවෝ බරක් නෙමෙයි.     ඇය කෙදිරිලි හඩින් කීවා.

මේ කතාවෙන් පස්සේ අර ගෑණු කෙනා යන්න ගියා.  මේ අම්මා කාමරයට ගිහින් පුංචි පුතාව තුරුඵ කරන් හොදටම ඇඩුවා. එයාගේ හිතේ තියෙන දුක, තරහව යනතුරුත් ඇඩුවා.  ආයේ කවදාවත් ඒ ගෑණු කෙනාගේ ගෙදරට මොන හේතුවක් නිසාවත් අඩියක් වත් තියන්නේ නැහැ කියලා  මේ අම්මා කදුළු පිරුණු දෑසින් හිතුවා.මේ වගේ ගෑණුන්ට දරුවන් ලැබෙන එකත් පවක් කියලයි අම්මට හිතුනේ. මගේ පුතා ලබන ආත්මයෙත් මගේම වෙන්න කියලා අම්මා පැතුමක් පැතුවා.........!  මොනවා උනත් අදටත් මේ අම්මා බලාගෙන ඉන්නවා එයාගෙ පුතාට සනීප වෙයි කියලා..............!




කවදාම හරි දවසක මම වගේම ඹයාලත් මේ පුංචි පුතා වගේ අසරණ වුන වෙලාවක කවුරු හරි කෙනෙක් අපේ ජීවිතේ වටිනාකමක් නැහැ කියලා හිතලා බෙහෙතක් විදින්න කතා කලොත් අපිට මොනව හිතේවිද නේද?


දරුවන් වැදුවාට හැම ගැහැණියක්ම අම්මා කෙනෙක් වෙන්නේ නැහැ කියලමයි මේ කතාවෙන් පස්සේ
සිතුවිල්ලට හිතුනේ.

5 comments:

  1. හොදටම හිතට වදින්න ලියල තියෙනව.මේ වගේ ලිපි වැදගත්..ජය වෙවා..

    ReplyDelete
  2. ලලිත්....

    ස්තුතියි! දිරිමත් කරනවට

    ReplyDelete
  3. දරුවන් අසරන කරවන අම්මලාට ආදර්ශමත් අම්මා කෙනෙක්

    ReplyDelete
  4. නුවන්....

    ස්තුතියි. මේක ඇත්තම අත්දැකීමක්.

    ReplyDelete
  5. හිතට තදින්ම වැදුන කතාවක් අක්කේ !!!
    අම්මා කෙනෙක්ට දරුවෙක් වෙනුවෙන් උහුලන්න බැරි දුකක් මේ ලෝකේ තියෙනවද කියලා හිතාගන්න බෑ.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!