Monday, November 26, 2012

රූණ හාමිනේ


අපේ රටේ පැරණි කවියන් ගැන කියන කොට රුහුණු රට බොහෝම ප්‍රසිද්ධයිනේ.  ඒ අතරින් කවිකාරියන් ගැන සදහන් වෙනකොට මුලින්ම කියැවෙන නම තමයි ගජමන් නෝනා.  ඒ හැරුණහම තවත් ප්‍රසිද්ධ නමක් තමයි රූණ හාමිනේ හෙවත් රුහුණු හාමිනේ.  ඇය මාතර නාඔටුන්න නම් ප්‍රදේශයේ කාන්තාවක් බවයි සදහන් වෙන්නේ.  ඒ වුනත් ජනප්‍රවාදයේ සදහන් තොරතුරු හැරුණම ඇය ගැන වෙනත් කිසිම ලිපි ලේඛනයක් සොයා ගැනීමට හැකියාවක් නැහැ.  ඒ නිසාම ඇයගේ සැබෑ නම් ගම්, ජීවත් වූ වකවානු ආදිය ගැන නිශ්චිත තොරතුරු නැහැ.

පෘතුගීසි, ලන්දේසි යුගවල මාතර දිසාවේ වැදගත් තැනක් හිමිකර ගත් මාතර නාඔටුන්නේ, මුත්තෙට්ටුවේගොඩ වත්තේ වලව් පැලැන්තියේ උපන් කාන්තාවක් ලෙස රූණු හාමිනේ ගැන ජනප්‍රවාදයේ සදහන් වෙන්නේ.  ඇයගේ සැබෑ නම වගේම පවුලේ විස්තර ගැනත් වැඩි විස්තර සදහන් කිරීමේ හැකියාවක් නැහැ.  කාලයත් එක්කම බොහෝ තොරතුරු වැලලී ගිහින්.  

කෙසේ වෙතත් ඒ වකවානුව වෙනකොට ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය ගැන එතරම් සැලකීමක් දැක්වූ බවක් පෙනෙන්නට තිබුනේ නැහැ.  නමුත් ඇගේ පවුලේ වැඩි මහල් දරුවා ඇය නිසාත් ඇයට බාල සොයුරා බුද්ධියෙන් අඩු කෙනෙකු වූ නිසාත් මේ සිරිත් විරිත් නොතකා රූණු හාමිනේට අධ්‍යාපනය ලබා දීමට ඇගේ දෙමාපියන් තීරණය කලා.

අද කාලයේ වගේ පාසැල් නොතිබු නිසා ගමේ පිරිවෙනට ගොස් මහ නාහිමියන් වෙතින් අකුරු ඉගෙනීමට ඇයට හැකියාවක් ලැබුනා.  වැලිපිල්ලේ අකුරු කෙරූ ඇය ඉතාමත් කෙටි කලකින්ම ලිවීමට කියවීමට පමණක් නොවෙයි කාව්‍යකරණයට පවා සමත් කමක් දක්වන්නට වුනා.  කෙසේ වුනත් නායක හාමුදුරුවන්ගේ මග පෙන්වීම යටතේ තම නිසග කවීත්වය ඔප දමාගත් ඇය ක්‍රමයෙන් තරුණ වියට එළඹීමත් සමගම මාතර ප්‍රදේශයේ සිටින දක්ෂතම කවිකාරිය මෙන්ම රූමත් කාන්තාවද වීමට සමත් වුනා. 

එක්තරා අවස්ථාවකදී පිරිවෙනේ සිටි තරුණ ස්වාමීන් වහන්සේ නමක් කල නොමනා විහිළුවක් නිසා එවේලේම ලියා දුන් කවියකින් ඇගේ කවීත්වය පිළිබද මනාව පැහැදිලි වෙනවා. 

නිම්මා නැති සසර දුක් සිදලන මෙන්          
සම්මා සම්බුදුන් සසුනට වදිමින්                
බුම්මා ගෙන නොයිද කරණා දෙය  මෙන්   
අම්මලා වදන සැටියේ වරදින්                   

එය එසේ‘ වුවත් ගරු කල යුත්තන්ට ඇය නොමදවම ගරු කිරීමට පෙළඹුනාය.  වැලිතර වතුරේගම නාහිමියන්ට ලියූ කවියකින් ඒ බව පැහැදිලි වේ.
නෙකමුණි ගුණ දරණ වතුරේගම තුම          නා
දැක ගන පින් ලබන ලෙසම සිතුවිය ම        නා
එක දවසක් සමිද දුටුවොත් යුවලැසි             නා
ලක රජ ඉසිරු සැක නොව ලැබුවා ලෙසි     නා

ඇයගේ අත පතා බොහෝ තරුණයන් ආ නමුදු මේ සුකුමාල තරුණියගේ සිත දිනාගැනීමට සමත්වූයේ එවකට ඉංග්‍රීසි සමාගම් රජයේ ආදායම් එකතු කරමින් ගමින් ගමට ගිය සිංහල සමින්දාර්වරයෙකි.  ඔහු නමින් ක්‍රිස්තෝම්බු ද සොයිසා නම් විය.  හේ තරුණ මෙන්ම කඩවසම් අයෙකුද විය.  මාතර ප්‍රදේශයේම මුදලි පෙළපතකින් පැවත ආ අයෙකි.  මේ දෙදෙනා බොහෝම හදිසියේ නෙත ගැටුනත් ඇය ඔහුට පෙම් කලාය.  නිතර නිතර අසු පිට නැගී බොහෝ තේජස් ලීලාවෙන් තමා සොයා පැමිණි මේ කඩවසම් ඉලන්දාරියාට ඇය බෙහෙවින් ඇලුම් කලාය. 

ටික කලකින් දෙමාපියන්ගේද ආශිර්වාදය ඇතිව ඇය ඔහුගේ අත ගත්තාය.  කාලයක් යනතුරුම ඔවුන් බොහෝ සතුටින් දිවි ගෙවූ අතර, එක් අවස්ථාවක ඇය තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන මෙසේ කීවාය.
ගෙදර මා ඉන්න විට දැක මුදලින්               දා
අදර කර ගියේ මා හොද හැටියට කැන්        දා
සොදුර බස් යවන පුරහම දුනි ඉන්              දා
අමර සැප අතුලෙ හැර කළෙ පෙම කැන්     දා

කෙසේ වෙතත් මොවුන්ගේ යුග දිවිය ටික කලෙකින් නිමාවට පත්වූයේ ගමින් ගමට රජයේ ආදායම් එකතුකරමින් ගිය ෂමින්දාර් වරයාට වෙනත් රුවැත්තියක් මුණ ගැසුනු නිසාය.  පැණි වරකාව මෙන් සිටි තම සැමියාගේ වෙන්වීම නිසා ඇය ඔහුට සාප කලේ මේ ආකාරයෙනි.

මට කළ විනේ කස්තානේ ඇනීය   න්
ඇට වල වලේ මැස්සන් හිස ලැගිය න්
කොටමල කසුන් සිටුවන උල ඇනීයන්
පිට පොට පිටින් උඩ හරහටු මැරීය  න්

ඒ වනවිට ඇය ගැබිනියක් මුත් තමන්ගේ දෙමාපියන්ද මිය පරලොව ගිය නිසාවෙන් ඇය සැමියාද අහිමිව මෙලොව තනිවූවාය.  එසේ තනි වුන කාන්තාවකට සමාජය සලකන්නේ කෙබදු ආකාරයටදැයි නොකිව මනාය.  කෙසේ වෙතත් දෛවය ඇයට එහෙමටම සරදම් කලේ නැත.  දුරින් නෑදෑ කෙනෙකු වන කාන්තාවක් ඇයගේ පිළිසරණට ඉදිරිපත් වූවාය.  නැත්නම් කාටත් බරක් වී ජීවත්වීම කමකට නැතැයි සිතූ ඇය සියදිවි තොර කර ගන්නට සිතා සිටියාය. 

පසුව දරුවා ලැබුණු පසු වෙනත් දරුවනට තමන් උගත් දේ කියා දෙමින් එයින් කීයක් හෝ උපයාගත්තාය.  තමන්ගේ ගම් පියසේ ජිවත් වන මේ කාන්තාව උගත් කවි කාරියක බව දැනගත් ගම්වාසීන් තම දරුවන් අකුරු ඉගෙනීමට ඇය වෙත එවුවාය.  එදා වේල පිරිමසා ගන්නට ඉන් ලැබෙන ආදායම ඇතිමුත් කලින් මෙන් සැපවත් දිවියකට නම් ඒ මුදල් ගෑවෙන්නටත් මදි බව ඇයට වැටහුණි. 

පසුව තමන්ගේ පවුලේ හිතවතෙක් ලෙස කාලයක් සිටි මාතර වැල්ලබඩ පත්තුවේ මුදලි තුමාට ඇයගේ දුක් ගැනවිල්ල කියා යැවුවේ මේ අයුරිනි. 

පින්වත් හිමි සදිනි මතු බුදු බව පත            
සම්පත් ඔබ විදින දියුණුව වැඩෙන  මෙ      
දැන්වත් මදුක ගැන පිහිටක් ලැබුනොති      
පින් අත් වේය පෙර සිට කළ පිනක් මෙ      

කෙසේ හෝ මේ පැදි පෙල කියවීමෙන්ම මුදලිතුමන්ගේ හදවත උණු වී ගියේය.  පසුව පතගා පන්සීයක් වටිනා ඉතා අගනා රන් මාලයක් ඇයට පරිත්‍යාග කිරීමට තරම් මුදලිතුමා කරුණාවන්ත පුද්ගලයෙකු වීය.

මෙසේ කාලයක් ගතවීමත් සමගම රූණ හාමිනේ ඒ කාලයේ ප්‍රදේශයේ සිටි විශිෂ්ට කවිකාරිය ලෙස ප්‍රසිද්ධ වූවාය.  අනෙක් කරුණ නම් ඇයගෙ පද ගැලපීම බෙහෙවින්ම සංවර ශීලි විය.  ඉන් මිනිසුන් බොහෝ කුල්මත් විය.  එසේම ඒ කාලයේ රටේ සිටි බොහෝ උගත් පඩිවරුන් සමගත් ලිපි හුවමාරු කරගත්තාය.  මෙසේ ලිපි හුවමාරු කරගත් අය අතර යතිවරුන්ද සිටියහ.  එවන් එක් යතිවරයෙකි බේරතුඩුවේ ධම්මධරතිස්ස මහ නාහිමියෝ.  උන්වහන්සේ බොහෝ දේ පිලිබද දැන උගත් හිමි නමක් වූ අතර බෙහෙවින් සංවර ශීලි ද විය.  උන්වහන්සේ රූණ හාමිනේ ගැන කී කවක් මෙසේය. 

නෙක රටවල ඇවිද මා දැකපු විසිතුරු
එක මුවකින් කියා නිමවන බැරි අයුරු
මෙතකට සම ලියක් නොදුටිමි මම මිතුරු
ලක රජ මහිමි නම් අද දෙමි නෙක ඉසිරු

සැමියා හැර ගියත් ඉතාමත් දුක්බර වුවද උත්සාහයෙන් ජිවිතය ජයගත් ඇය තමන්ගේ ආත්ම ගෞරවයත් ආරක්ෂා කර ගනිමින් සිය එකම දියණිය
ලොකු මහත් කලාය.  ඇය දීග ගිය දා ඇයට ඔවදන් දුන්නේ මේ ආකාරයෙනි. 

සැමදා දැනමුතු කම් සිත දර           නු
කෑමබීම ඇති සැටියට පිරි මස        නු
කෝම නමුත් පුළුවන් හැටියට කර  නු
බෝම වස්තු නැතිවට වාහෙට නොබනු

මේ ඔවදන් එදා සමාජයේ තරුණියන්ට පමණක් නොව අද කාලයට පවා ඔබින ඒවාය.  මෙම කවිය අදටත් රුහුණේ ගැමි කාන්තාවන් අතර ප්‍රකට කවියකි.

සැතපුන මුත් ඉදින ගරු තපසුන් වාගේ
මොක කීවත් ගසති ගැටයක් ගලවා ගේ
රස දුන්නත් කියති වස දුන්නා වා   ගේ
සෙවනැල්ලත් ඇදලු අත හැරෙනා දීගේ

ඇය මේ කවියෙන් කියන්නට ඇත්තේ තමන්ගේ අත්දැකීම් වුවද මේ අදහසෙහි ඇති නිවැරිදි තාවය මැනවින් පෙන්නුම් කෙරේ.  රදළ පැලැන්තියේ ඉපිද හැදී වැඩී තරුණ වියේදී විවාහව කලකින් අයසට පත් මේ උත්සාහවත් කාන්තාව අවට සමාජයේ වෙසෙන්නන් පිලිබදවලද ආකල්ප මේ කවි තුලින් හොදින් පැහැදිලි වේ.