ටික දවසකට පස්සේ මට ලිපියක් ලියන්න පොඩි
විවේකයක් ලැබුණා. මේ අවුරුද්ද පටන් ගත්තත්
හරි පුදුම අවිවේකී බවකුයි තියෙන්නේ. ඒත්
ඉතිං කරපු වැඩකුත් නැද්ද මන්දා. කොහොම
වුනත් දැන් අප්‍රේල් මාසෙ නිසා සිංහල අවුරුද්ද ගැන පුංචි පුංචි කරුණු ටිකක් ලියන්න
ඕනේ කියලා හිතුවා.
සිංහල අවුරුද්ද කියන්නේ අපේ ජාතියේ අභිමානය මනාව
පෙන්නුම් කරන උත්සවයක්නේ. අපේම සිරිත්
විරිත්, අපේ කෙළි සෙල්ලම් එළි දක්වන්න තියෙන හොදම කාලේ තමයි සිංහල අවුරුදු
සමය. හරියටම කියනවා නම් ජාතියක තියෙන ශ්‍රේෂ්ටත්වය
මනින මිනුම් දණ්ඩක් තමයි අපේ සිරිත් විරිත් හා කෙළි සෙල්ලම්. හැබැයි ඉතිං අවුරුදු උත්සවය අපේ රටට විතරක්
සීමාවුන දෙයක් නම් නොවෙයි. ඔය ඉන්දියාවේ
දකුණු දික්භාගය, බුරුමය, පාකිස්තානය වගේ වෙනත් රටවලත් අවුරුදු උත්සවය ඉතාමත්
හොදින් පවත්වනවා. බුරුමයේ ජල උත්සවය කියලා
හැදිනවෙන අවුරුදු උත්සවය පාකිස්තානයේ කියන්නේ බයිෂාකි කියලයි. බුරුමයේ වගේම කාම්බෝජයේ හේ අවුරුදු උළෙලේදී පාට
ගල්වන ලද සුවද ජලය ඉස ගැනීම චිරාගත චාරිත්‍රයක්.
අස්වැන්න කපා ගෙන අටුකොටු පුරවා ගන්න කාලය
නිසා තමයි බොහෝම රටවල මේ කාලය උත්සව කාලයක් ලෙස සැලකෙන්නේ. කාගේත් ඉසුරුමත් කාලය මෙයයි. ඒ නිසා රිසි සේ කාල බීලා විනෝද වෙන එක උත්සව
පවත්වන එක අප්‍රේල් මාසයට ආවේනික දෙයක් වෙලා.
අවුරුද්දේ සතුටු වෙන්න මේතරම් සුදුසු කාලයක් නැති තරම්.
සිංහල අවුරුදු කාලය සූර්ය මාස නැකැත් කෙළිය
එහෙමත් නැත්නම් කෝණ යන නම් වලිනුත් හැදින්වෙනවා.
ඒකට හේතුව තමයි සූර්ය දිව්‍ය රාජයා රාශි දොළහේ ගමන් කරලා මීන රාශියේ ඉදන්
මේෂ රාශියට සංක්‍රමණය වීම. අවුරුදු උත්සවය
මේ විදියට උත්සවශ්‍රීයෙන් පවත්වන්නට පටන් ගෙන තියෙන්නේ බොහෝ ඈත කාලයේ භාරත දේශයේ කණිෂ්ක
රජුගේ කාලයේ ඉදන් කියලයි පොත පතේ සදහන් වෙන්නේ.
අපේ රටට මේ උත්සවය පැමිනෙන්නේ හිංදු සභ්‍යත්වයේ ආභාෂය නිසාවෙනුයි.
මුල් කාලයේදී දෙවියන් මුල්කොට ගෙන අවුරුදු
උත්සවය පැවැත්වුනත් පස්සේ කාලෙක බුදු සසුන පිහිටුවීමෙන් පස්සේ අවුරුදු චාරිත්‍ර
බෞද්ධ ප්‍රතිපත්ති අනුව හැඩගැසෙන්නට වුනා.
පොළොන්නරු යුගයෙන් පස්සේ එය සිංහල ජාතික උත්සවයක් බවට පත්වුනා කියලයි
විද්වතුන්ගේ මතය වෙලා තියෙන්නේ. ඉස්සර
කාලේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වපු උත්සව අතර සිංහල අවුරුදු උළෙලට ලැබුනේ ප්‍රමුඛස්ථානයක්. අළුත් අවුරුදු උළෙල ඉතාමත් ඉහලින් පවත්වපු
කාලයක් තමයි මහනුවර යුගය. රොබට් නොක්ස්ගේ
වාර්තාවල සදහන් වෙන විදියට නම් ඒ කාලයේදී රටවැසියන් සියලු දෙනාම තමන්ගේ සියලු
කටයුතු වලින් ඉවත්වෙලා නැකැත් චාරිත්‍ර විදි හොදින් අනුගමනය කරමින් බොහෝම කෙළි
දෙළෙන් ගතකරපු කාලයක් තමයි ඒ.
අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක් උදාවෙන
කොට රජතුමා දළදා හිමියන් වැද පුදා ගන්නේ මුළු රටේම ජනතාවටත් රටටත් සෙතක් ශාන්තියක්
අත්කරගනු සදහායි. අනෙක් කරුණ තමයි මහා නා
හිමිවරුන්ගේ ආශිර්වාදය ලබා ගන්නත් රජවරුන් අමතක කලේ නැහැ. අලුත් අවුරුද්දට ආගමික මුහුණුවරක් දීමටත්
ස්වාමීන් වහන්සේලා අමතක කලේම නැහැ.
පොත්පත්වල කියවෙන අන්මට මුලින්ම අවුරුදු නැකත් පතක් සකස් කරලා තියෙන්නේ
පුලතිසි කිවයන සෘෂීන් වහන්සේයි. මේ සූර්ය
සංක්‍රමනය අනිවාර්යයෙන්ම ස්වභාව ධර්මයෙන් සිදුවන්නක්. ඒ අවස්ථාවේදී වායු මණ්ඩලයේ සිදුවන වෙනස්කම් හා
නව වාතාවරණයක් බිහිවෙනවා. එය මිනිස් ජිවිත
කෙරෙහි බලපානවා. ඉතින් ඒ නිසා තමයි අපේ
ජීවිතත් ඒ වෙනස්කම් වලට අනුකූල වෙන විදියට සකස් කරගන්න අවශ්‍ය වෙන්නේ. ජේයතිශයේ කියන ආකාරයට වැදගත් අවස්ථාවලදී සුබ
මොහොතක් බලා කටයුතු ආරම්භ කිරීම උසස් ප්‍රතිපල ලබා ගැනීමට උදව්වක් වෙනවා. ඉස්සර කාලේ මේ නැකත් සකස් කරලා තියෙන්නේ
රජවාසලේ ඉන්න නැකැත් රාළ විසින්.
අළුත් අවුරුද්දට පේවීමට ස්නානය කිරීම, නව සද
බැලීම, වැඩ අත්හැරීම, වැඩ ඇල්ලීම, ලිප ගිනි මෙලවීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය,
හිස තෙල් ගෑම, රැකියාවන් සදහා පිටත්වීම, වැනි අපේ එදිනෙදා ජීවිතයේදි සිදුකරන බොහෝම
වැදගත් කටයුතු නැකත් අනුව පටන් ගන්නට කටයුතු කෙරුනේ මේ විදියටයි. එය සම්ප්‍රදායක් බවට පත්වුනා.
නැකත් නොමැති කාලය එසේත් නැත්නම් නොනගතය
යනුවෙන් හදුන්වනු ලබන වෙලාවකුත් මේ අවුරුදු නැකත් අතර තියෙන බව අපි කවුරුත්
දන්නවා. ඒ වෙලාව කිසිම සුබ කටයුත්තක් සදහා
යොදා ගන්නේ නැහැ. ඒ ගැන විවිධ මතිමතාන්තර
තිබුනත් මේ කාලසීමාවේදී ආගමික කටයුතු වල යෙදෙමින් හිත පිරිසිදුව තබා ගැනීම අතින්ම
හොද බවයි පැවසෙන්නේ. නමුත් මේ තත්වය
වර්තමානයේදී නම් වෙනස් වෙලා තියෙනවා.
විවිධ දුරාචාරයන් සදහා මේ කාලය යොදා ගැනීමට බොහෝ පිරිස් උනන්දුවක්
දක්වනවා. අලුත් බලාපොරොත්තු වලින් පිරුනු
වසරකට පිය නගන සුබ මොහොතක සිත කිලිටි කරගැනීම උචිත නැහැ. ඒක අවාසනාවන්ත අනාගතයකට මුලපිරිමක් වගෙයි.
වර්තමානයේ නැකැත් කෙරෙහි එතරම් උනන්දුවක්
දක්වන්නේ නැහැ. උත්සවය විතරක් ඉහලින්
ගන්නවා. සිරිත් විරිත් ගැන තැකීමක්
නැහැ. ඉතින් අනාගත පරම්පරාවට දකින්න
ලැබෙන්නේ සාම්ප්‍රදායයන්ගෙන් පිරුනු අලුත් අවුරුද්දක් නම් නෙවෙයි. ඒ ගැන කියන්නත් කනගාටුයි. අනෙක් කාරනාව තමයි අලුත් අවුරුදු නැකත් පිළියෙල
කරන විදියේ යම් පිළිවෙලක් තියෙනවාද කියන එක.
ඇතැම් අවුරුදු වල ලිත් වල තියෙන නැකැත් සහ වෙනත් මාධ්‍යයන්ගෙන් ප්‍රචාරය
කරන නැකත් අතර වෙනස් කම් තියෙනවා.
අපි අතර පවතින සිංහල සිරිතක්නේ අවුරුද්දක්
ගෙවිලා අවුරුද්දක් ලබන මොහොතෙදි වැඩිහිටියන්ට බුලත් හුරුල්ලක් දීලා වැරදි සමා
කරගන්න එක. ඇතිවෙලා තියෙන නොයෙක්
අමනාපකම්, අවුල් වියවුල් අසමගිකම් නැතිකරගන්නට කටයුතු කිරීමෙන් කාගෙත් හිත්වල සතුට
සමාදානය රෝපනය වෙනවා. එවැන්නකට හොදම කාලය
තමයි සිංහල අවුරුදු කාලය.
ඒ වගේම තමයි අපිට පුංචි නිවාඩුවක් ලැබෙන
කාලයක් නිසා නැදෑ හිතමිතුරන් වගේම ගමේ උදවියත් එකතු වෙලා නොයෙකුත් කෙළි සෙල්ලම්
කරන්නට පෙළඹෙනවානේ. මින් ප්‍රධාන තැනක්
ගන්නේ රබන් පැලිල්ල තමයි. දෙපිරිසක් හෝ ඊට
වැඩි පිරිසක් එකතුවෙලා තරගයට රබන් කවි කියමින් රබාන වාදනය කරනවා. බාල තරුණ මහළු හැමෝම මේ වාදනයට සහභාගී
වෙනවා. තරගයට තමයි රබන් කවි කියන්නේ. ඒවා පලාතෙන් පළාතට වෙනස් වෙනවා.
තවත් තැනෙක ඔන්චිල්ලාවක් බැදෙනවා. ගමේ කෙළි පැටික්කියෝ ටික මෙතැනට රොද
බැදෙනවා. ඔන්චිලි වාරම් කියනවා. අන් ඇදීම, පොර පොල් ගැසීම, අංගම් කෙටීම, ඇත්
පොර ගව පොර, මල්ලව පොර, මේ වගේ බොහෝ ක්‍රීඩාවන් එළි දකින්නේ මේ කාලයේ තමයි. ඉවසීම ආත්ම සංයමය, පරෝපකාරය, නිර්භීත කම වගේ
ගුණාංගයන් වර්ධනය කරගන්නත් හොද අවස්ථාවක් වෙනවා මෙය.
මේ අවුරුදු සිරිත් විරිත් වගේම කෙළි සෙල්ලම්
දිහා හොදින් විමසිල්ලෙන් බැලුවොත් පෙනී යන දෙයක් තමයි අධ්‍යාත්මික ගුණ වගාව වගේම
මානසික සහනය, ශාරීරික සෞඛ්‍යය ප්‍රිතිය, වගේ බොහෝ කරුණු කාරණාවලදී ක්‍රමානුකූල
පැවැත්මක් දිහාවට ඉලක්ක වෙලා තිබීම. ඉතින්
මම නම් හිතන්නේ මේ පැරණි සිරිත් විරිත් හා කෙළි සෙල්ලම් බැහැර නොකොට ඒවාට නව පණක් ලබා දෙමින් සැබැ අවබෝධයකින් යුතුව
කටයුතු කරනවා නම් අපට අභිමානවත් ජාතියක් ලෙස ඉදිරියට යාමේ හැකියාව හොදින්ම
තියෙනවා. ඔන්න හැමෝටම සුභ අළුත්
අවුරුද්දක් හොදේ!!!
No comments:
Post a Comment
කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!