Thursday, December 20, 2012

පරංගීන් පැරදූ සිංහලයෙක්!!!!


සෙංකඩගල නුවරට ආසන්නයේ කදු මිටියාවතක කූඩාරම් ගසාගෙන සිටි පේදෘ ලෝපැස් ද සෞසා නම් පෘතුගීසි සෙන්පතියාගේ හමුදාවේ රණ ඝෝෂා හඩින් මුළු කදුකරයම දෙවනත් වන්නට විය.  ඒ හරියටම කියනවා නම් 1594 ජුලි මාසයේ එක්තරා දිනයකි. 

මේ හමුදා භටයන් සියල්ලන්ම පාහේ විවිධාකාරයේ කාර්යයන්හි නියැලී සිටියහ.  ඇතැම් භටයන් හී පහර ලත් භටයන්ගේ උදව්වට සිටි අතර, තවත් කොටසක් තමන් සිංහල හේවායන් හා යුධ වැදුනු ආකාරය ගැන පුරසාරම් දෙඩූහ.  තවත් භටයන් පිරිසක් සිංහල හේවා භටයන්ගෙන් ලද හී පහරවල් නිසා මරු විකල්ලෙන් සිංහල හේවායන්ට දෙස් දෙවොල් තැබූහ.  කවරෙකු කවර ආකාරයේ මෙහෙයක් කලද ඔවුන් සියල්ලන්ගේම නෙත් නිරන්තරයෙන් රැදී තිබුනේ එක් සිංහල සිරකරුවෙකු වෙතය.  ඔහු නමින් මුදියන්සේ බණ්ඩාරය. 

කතිරිනා කුමරිය කන්ද උඩරට රැජින ලෙස නිරන්තරයෙන්ම පෙන්වා දෙමින් මහනුවර යටත් කරගැනීමට යාමේදී බොහෝ පිරිසක් කැටුව ගිය ලොපැස් ද සෞසාට බලන දුර්ගයේදී ඉතාමත් නින්දනීය ලෙස පරාජයට පත්වන්නට සිදුවිය.  මේ හේතුව නිසාවෙන් ඔහු වෙඩි කෑ ඌරෙකු සේ කිපී සිටියේය. 

විමලධර්මසූරිය රජුගේ විශාල හමුදාව නිසා පෘතුගීසි භටයන්ට මාරක පහර වලින් වලකින්නට නොහැකිවූ නමුත් දෙවර වර විමලධර්ම සූරිය රජුගේ බල ඇණිය පෘතුගීසි හමුදාව තරමට ශක්තිමත් නොවූයෙන් සෙංකඩගල නුවරට ගිනි තබා රජු වැදි පත්තුවට පලා ගියේය.
මේ පලා යාමෙන් පසු ලැබුණු ආරංචි මාර්ගයන්ට අනුව විමලධර්මසූරිය රජුට ශ්‍රී දළදාව ගෙනයාමට අමතක වූ බව දැනගන්නට ලැබුනි.  එබැවින් දළදාව පැහැර ගැනීම ලෝපස් ද සෞසාගේ අරමුණ විය.  පුරාණයේ පටන් විශ්වාස කරනු ලබන්නේ දන්ත ධාතූන් වහන්සේලා ගේ භාරකාරත්වය හිමි වූ අයෙකුට රජකම ලැබෙන බවයි.  එබැවින් පෘතුගීසි භට නායකයා කල්පනා කලේ එය හිමි කරගැනීමෙන් පසුව සිංහලයන් පෘතුගීසීන්ට පක්ෂපාතී විය හැකි බවයි. 

කෙසේ වුවත් ඔවුනට දළදා හිමි සොයා ගැනීමට නොහැකි වූ නමුත් එය ගෙනගොස් සගවන ලදැයි සැක කරන සිංහල පුද්ලගලයා හසුවුනා.  ඉහත සදහන් කල සිරකරු ඔහුයි.  ලෝපැස් ද සෞසා ද එසේ මෙසේ කෙනෙකු නොවෙයි.  ඔහු උස මහත පුද්ගලයෙකි.  කන්ද උඩරට යටත් කර ගැනීමට පැමිණි පෘතුගීසි හේවා භට කණ්ඩායමේ නායකයා ඔහුයි.  සෑම සොල්දාදුවෙකු තුලම මේ පරංගි නායකයා කෙරෙහි ඇත්තේ අති මහත් බියකි.  ඒ වගේම ඔහු සියල්ලන්ගෙන්ම සැලකුම් ලබන්නෙකි.  වටපිට බැලූ ඔහු කෙලින්ම ගියේ සිංහල සිරකරු බැද තිබූ ස්ථානය වෙතයි.

පරංගි නායකයා හා ඔහුගේ සෙබලුන්ගේ පාවහන් හඩින් කඩා වැටී තිබූ හිස කෙලින් විය.  මුහුණ පුරා වැවී තිබූ රැවුල නිසා ඔහුගේ ප්‍රතාපවත් බව මැනවින් පැහැදිලි විය.  දත් කිටි කිටියේ සපා ගත් මේ සිංහල සිරකරුවා සිටියේ දැඩි කේන්තියකිනි.

“පරංගි ජඩ බල්ලෝ!!!  ඔහු මුමුනන්නට විය.  ඔහු කෙළ පිඩක් අහකට විසි කලේය.  පරංගීන්ගේ දසුන ඔහුට මහත් වදයක් සේම පිළිකුලක් දනවන කරුණක් විය. 

සිරකරු වෙත ආ පෘතුගීසි නායකයා බඩගිනි වූ කොටියෙකු පරිද්දෙනි සිංහල සිරකරුවා දෙස බැලුවේ. 

“උඹේ ජීවිතයට ආදරයක් තියේ නම් කියාපිය දන්ත ධාතූන් සගවපු තැන.  නැත්නම් තොට හිමිවෙන ඉරණම තොපේ ඉහේ උකුනාවත් දන්නේ නැති වෙයි.....යනුවෙන් ගර්ජනා කලේය.  ඔහුගේ ගර්ජනාවෙන් බය වෙනවා වෙනුවට සිංහල සිරකරුවාගේ සිතට දැනුනේ දැඩි කේන්තියකි.  තමන්ගේ කෝප ගත් දෙනෙත් පරංගි නායකයා වෙත හැරවූ සිරකරුවා  
“තොපිට පුළුවන් දෙයක් කොරාපියව්...යනුවෙන් කීවේය.  කෙසේ වෙතත් මීට වඩා වචනයකුදු ඔහු නොදෙඩුවේ පරංගියාගේ කතාව නිසරු එකක් බව හැගුනු නිසාවෙනි. 

“ඒයි කපටි මිනිහා මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැත්නම් මම උඹව හතරට පලනවා.....එසේ කියූ සේනාධි නායකයා තමන්ගේ අත තිබූ සැරයටියෙන් සිරකරුට කිහිප විටක්ම තැලුවේය.  මුහුණට වැදුනු පහරවල් නිසා තොල් පට පවා පුපුරා ලේ ගලා හැලෙන්නට විය.  දත් කූරු කමින් සිරුරින් වැගිරෙන ලේ මුසු කෙළ පිඩක් ගැසූ ඔහුගේ මුහුණට නැගුනේ සාවඥ සිනාවකි. 

“තගේ ඔය ගර්ජනා වලට බිය වන්නේ සිංහලයෝ නොවෙයි බොල නිවටයෝ.  තා වගේ නරුමයෙකුට කවදාවත් දන්ත ධාතූන් වහන්සේ නොලැබෙන බව දැනගෙන හිටියොත් හොදයි.....ගෙරිමස් කන පරංගියා.....කියමින් බැන වැදුනේය.

තමන්ගේ නායකයාගේ මුහුණට කෙළ ගැසූ නිසා ඉන් කෝපයට පත් එක් පරංගි සෙබලෙක් තමන් අත වූ කඩුව අමෝරාගෙන ඉදිරියට පැන්නේ සිරකරු දෙපලු කිරීමේ අටියෙනි.  එහෙත්...

“නවතිනු මෝඩයා....සෞසා කල බෙරිහන් දීමෙන් ඔහු මදක් පසුබා සිටියේය.  මේ මිනිහා මරා දැම්මොත් අපිට දළදා වහන්සේ ගැනීමේ අවස්ථාව ඇහීරී යනවා.  මොහුව එක කඩු පහරින් මරා දමන්න පුළුවන්.  ඒත් අසීරුම දේ තමයි දළදා වහන්සේ සොයා ගැනීම.  ඒ නිසාම එය සගවා තියෙන තැන දැනගන්නා තෙක් මොහුගේ තියෙන වටිනාකම අපමණයි.....

පසුව අසල හුන් වෙනත් පෘතුගීසි සෙබලුන් දෙදෙනෙකු විසින් මේ සිරකරුට කසයෙන් තලන්නට විය.  දත්මිටි කමින් වේදනාව ඉවසා සිටීමට තැත්කරන මේ නිර්භීත සිංහලයා දෙස පරංගින් බලා සිටියේ පුදුමයෙනි.  එසේම ඔහුට පහර දීමෙන් පරංගීන් විශාල සතුටක් ලබන බවකුත් පෙනෙන්නට තිබුනි.  කුලප්පු වූ හරකෙක් මෙන් මහත් වේගයෙන් ආශ්වාස ප්‍රශ්වාස කල පරංගි නායකයා මේ සිංහල අභීත මිනිසා දෙස බලා සිටියේ නොඉවසිල්ලෙනි. 

මෙසේ දිගින් දිගටම කස පහර කෑමෙන් පමණක් තමන් මිය යා හැකි බව තේරුම් ගත් සිංහල සිරකරුවා අවසාන වශයෙන් හෝ තමන් උපන් බිමට යම් මෙහෙයක් කරමියි තරයේ සිටා ගත්තේය.  හදිසියේම සිරකරුගේ මුහුණ සාවඥ සිනා රැල්ලකින් ආලෝකමත් විය.  ඔහුගේ හිස පහතට වැටී තිබුණ බැවින් ඒ සිනහවේ අර්ථය හෝ වටහා ගැනීමට පරංගීන්ට හැකියාවක් ලැබුණේම නැත. 

“අනේ මාව මරන්න එපා!!! අනේ මාව මරන්න නම් එපා!!! දළදා හිමියෝ වැඩ සිටින ස්ථානය මම කියන්නම්.  යයි කෑ ගසන්නට වුනා.  ඒ වචන සවනත වැකුණු පරංගි නායකයාගේ මුහුණට සිනා රැල්ලක් නැගුනේ නිරුත්සාහයෙනි.  තමන් ජයගත්තාක් බදු හැගීමක් ඔහුට දැනෙන්නට විය. 

“පහර දීම නවත්වනු!!!!  මෙතෙක් අසරණ සිංහලයාගේ ගලායන රුධිරය දෙස හිතක් පපුවක් නැති අයෙකු ලෙසින් බලා සිටි සෞසා තම භටයන්ගේ පහරදීම නැවැත්වීය.  ඔහුගේ බැමි මුදා හරින්නට අණක් ලැබුනි.  සිරකරුවා නෙත් කොනින් සියල්ලන් දෙස බැලුවේය. 

“දළදා හාමුදුරුවන් වහන්සේ සැගවූයේ මමයි.  එය මා හැරෙන්නට වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ.  දළදා හිමි දැනට සගවා තියෙන්නේ මෙතැන සිට මයිල දෙකක් පමණ ඈතින් තියෙන නාමල්ගොඩ කදු පාමුල බිම් ගෙයක් ඇතුලෙයි....ඒ ස්ථානය දන්නේ මා විතරයි.  ඒ නිසා මා සමග තව කිහිපදෙනෙක් පැමිණියොත් එය රැගෙන දෙන්නම්.... යනුවෙන් බොහෝ වේදනාවෙන් යුතුව කෙදිරිලි හඩකින් පැවසීය.

“හොදයි යමන්...හැබැයි තෝ අප අතරින් පලා යාමට තැත් කලොත් තොපේ හිස කුඩු පට්ටම් කරනවා.  ඒක හොදින් මතක තියාගනිං... යනුවෙන් පැවසීය.  එසේ කියූ පරංගි නායක සෞසා අනෙක් සෙබලුන් නවදෙනාත් සමග සිරකරු පසුපසින් ගමන් ගත්හ.  ඉහත සදහන් කල කදුවැටිය අසල තිබුණ පොල් අතු පැලක් වෙත ලගා වූ ඔවුහු සිංහල සිරකරුවා සිටින්නේ කෝපයෙන් දත්මිටි කමින් බව නොදත්තේය.  එසේ පොල් අතු පැල ඇතුලට ගිය සිරකරු එහි දමා තිබුණ පරණ පැදුරක් ඉවත් කලේය.  එය යට තරමක ලෑල්ලක් තිබුණේය.  එයත් ඔසවා ඉවත් කල විට පෙනුනේ පියගැට පෙළකි.  එය උමගක් විය.  සිරකරු පියගැට පෙළ මදක් දුර බැස ගිය පසු පිටිපස හැරී බැලුවේ ඔහුගේ සතුරු හමුදාවේ භටයන්ගේ මුහුණු දෙසයි.  බිම් ගෙය තුලට වැටුනු මද ආලෝකයෙන් සිරකරුගේ හැම ඉරියවුවක් ගැනම හොද සෙවිල්ලෙන් ගමන් කල පරංගීන් දහදෙනා තුල බියක් නම් තිබුනේම නැත.  මන්දයත් සිරකරුවා එතරම්ම දුබලව සිටි බැවිනි. 

ඇත්තම කිවුවොත් නිරායුධ බෙලහීන මෙවන් පුද්ගලයෙකු කෙරෙහි කුමන කරුණක් නිසා බියට පත් වෙන්නද?  කෙසේ වෙතත් තරමක් අදුරු ස්ථානයකට කණ්ඩායම පැමිණෙනවාත් සමගම  වෙඩි කෑ ඌරෙකු මෙන් කෑ ගසමින් අදුරට පැනගත් සිරකරු කුමක්දෝ ලී ඇණයක් තද කලේය.  මහා ශබ්දයක් සමගින් උමංකට හරහා විශාල ගල් කුලක් කඩා වැටුනි.  මුළු උමග පුරාවටම ඇසුනේ පස් කඩා වැටෙන සර සර ශබ්දය හා පරංගීන්ගේ අදෝනාවයි.  ඒ සමගම අභීත සිංහලයාගේ කොක්සන් හඩ ද ඇසෙන්නට විය.  ඒ සමගම පරංගි හේවායන්ගේ තුවක්කුවලින් නිකුත් වූ වෙඩි හඩවල් සතර දිග්භාගයෙන්ම ඇසෙන්නට විය.  නමුත් ඔවුන්ට කිසිම ඉලක්කයක් තිබුණේ නැත. 

සිංහල සිරකරුවාට එතරම් හානියක් සිදුවූයේ නැතත්  පරංගී හේවායන්ගේ තත්වය නම් ඊට හාත්පසින්ම වෙනස් විය. 

“ගෙරි මස් කන පර බල්ලෝ....තථාගත බුදු පියාණන් වහන්සේ ගේ දන්ත ධාතූන් වහන්සේ තොපි වගේ මෝඩ අමන රැලක් අතට පත් කිරීමට මගේ කිසිම අදහසක් නැහැ බොලව්.  සිංහලයෝ එතරම් නිවට නිහීන ජාතියක් නොවෙයි.  තොපි ඒ බව හොදින් දැනගනියව්!!!!

ඒ සමගම එක් මුල්ලක් අතගා යමක් සොයාගත් ඔහු වියරු ලෙස සිනාසෙන්නට විය.  තොපි දස දෙනා සමග සටන් කිරිමට ඉන්නේ එකම එක සිංහලයයි.  එනු නීචයෝ!!!!

මෙසේ කී මුදියන්සේ එක්වරම පරංගීන් සිටි දෙසට මාරයෙකු මෙන් කඩා පැන්නේය.  බිම් ගෙය තුල එකම මිනිස් පොදියකි.  භීතියෙන් වෙළී සිටි පරංගි හේවායෝ අන්ධකාරයේම තමන්ගේ සිරුර පසාකරගෙන යන කිනිසි පහරින් කෑගසන්නට විය.  කෙසේ වෙතත් බිම් ගෙය තුල තිබුන අන්ධකාරය නිසාම ඔවුනොවුන් පවා මරාගන්නට විය.  පරංගි ලෙයින් උමග තෙත්වෙත්දී පරංගීන්ගේ අසිපත් පහරින් මුදියන්සේටද සැලකිය යුතු ලෙස තුවාල සිදුවිය.  නමුත් කිසිදු වේදනාත්මක හඩක් නොනැගූ ඔහු කිසිම හඩක් නොනැගෙන බිම් ගෙය තුලින් අන්ධකාරයේම අතපත ගාගෙන එක් කුහරයකින් එළියට ආවේය.  ඔහු එසේ එළියට එන්නටත් මහත් ආයාසයක් දැරුවේය.  ඔහු වෙන කවරෙකු හෝ නොව මුදියන්සේ බණ්ඩාරයන් බව හදුනා ගැනීමට තිබූ එකම සලකුණ නම් ඔහුගේ මුහුණ පුරා වැවී තිබූ රැවුලයි.  ඔහුගේ මුළු සිරුරම ලෙයින් නෑවී තිබුණි.  නමුත් ඔහුගේ මුහුණින් සතුටක සේයාවක් පෙනුනි.

මහත් ආයාසයෙන් යුතුව ලග තිබූ ගසක් අල්ලාගෙන නැගී සිටි මුදියන්සේ තමන්ගේ අත කම්මුලට තබා සක් පිඹින්නා සේ තමන්ගේ ජයග්‍රහණය ගැන උදම් අනා නැවතත් නොනැගිටින්නටම ඇද වැටුනි.





(පැරණි ලිපියක් ඇසුරිනි)

Monday, November 26, 2012

රූණ හාමිනේ


අපේ රටේ පැරණි කවියන් ගැන කියන කොට රුහුණු රට බොහෝම ප්‍රසිද්ධයිනේ.  ඒ අතරින් කවිකාරියන් ගැන සදහන් වෙනකොට මුලින්ම කියැවෙන නම තමයි ගජමන් නෝනා.  ඒ හැරුණහම තවත් ප්‍රසිද්ධ නමක් තමයි රූණ හාමිනේ හෙවත් රුහුණු හාමිනේ.  ඇය මාතර නාඔටුන්න නම් ප්‍රදේශයේ කාන්තාවක් බවයි සදහන් වෙන්නේ.  ඒ වුනත් ජනප්‍රවාදයේ සදහන් තොරතුරු හැරුණම ඇය ගැන වෙනත් කිසිම ලිපි ලේඛනයක් සොයා ගැනීමට හැකියාවක් නැහැ.  ඒ නිසාම ඇයගේ සැබෑ නම් ගම්, ජීවත් වූ වකවානු ආදිය ගැන නිශ්චිත තොරතුරු නැහැ.

පෘතුගීසි, ලන්දේසි යුගවල මාතර දිසාවේ වැදගත් තැනක් හිමිකර ගත් මාතර නාඔටුන්නේ, මුත්තෙට්ටුවේගොඩ වත්තේ වලව් පැලැන්තියේ උපන් කාන්තාවක් ලෙස රූණු හාමිනේ ගැන ජනප්‍රවාදයේ සදහන් වෙන්නේ.  ඇයගේ සැබෑ නම වගේම පවුලේ විස්තර ගැනත් වැඩි විස්තර සදහන් කිරීමේ හැකියාවක් නැහැ.  කාලයත් එක්කම බොහෝ තොරතුරු වැලලී ගිහින්.  

කෙසේ වෙතත් ඒ වකවානුව වෙනකොට ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය ගැන එතරම් සැලකීමක් දැක්වූ බවක් පෙනෙන්නට තිබුනේ නැහැ.  නමුත් ඇගේ පවුලේ වැඩි මහල් දරුවා ඇය නිසාත් ඇයට බාල සොයුරා බුද්ධියෙන් අඩු කෙනෙකු වූ නිසාත් මේ සිරිත් විරිත් නොතකා රූණු හාමිනේට අධ්‍යාපනය ලබා දීමට ඇගේ දෙමාපියන් තීරණය කලා.

අද කාලයේ වගේ පාසැල් නොතිබු නිසා ගමේ පිරිවෙනට ගොස් මහ නාහිමියන් වෙතින් අකුරු ඉගෙනීමට ඇයට හැකියාවක් ලැබුනා.  වැලිපිල්ලේ අකුරු කෙරූ ඇය ඉතාමත් කෙටි කලකින්ම ලිවීමට කියවීමට පමණක් නොවෙයි කාව්‍යකරණයට පවා සමත් කමක් දක්වන්නට වුනා.  කෙසේ වුනත් නායක හාමුදුරුවන්ගේ මග පෙන්වීම යටතේ තම නිසග කවීත්වය ඔප දමාගත් ඇය ක්‍රමයෙන් තරුණ වියට එළඹීමත් සමගම මාතර ප්‍රදේශයේ සිටින දක්ෂතම කවිකාරිය මෙන්ම රූමත් කාන්තාවද වීමට සමත් වුනා. 

එක්තරා අවස්ථාවකදී පිරිවෙනේ සිටි තරුණ ස්වාමීන් වහන්සේ නමක් කල නොමනා විහිළුවක් නිසා එවේලේම ලියා දුන් කවියකින් ඇගේ කවීත්වය පිළිබද මනාව පැහැදිලි වෙනවා. 

නිම්මා නැති සසර දුක් සිදලන මෙන්          
සම්මා සම්බුදුන් සසුනට වදිමින්                
බුම්මා ගෙන නොයිද කරණා දෙය  මෙන්   
අම්මලා වදන සැටියේ වරදින්                   

එය එසේ‘ වුවත් ගරු කල යුත්තන්ට ඇය නොමදවම ගරු කිරීමට පෙළඹුනාය.  වැලිතර වතුරේගම නාහිමියන්ට ලියූ කවියකින් ඒ බව පැහැදිලි වේ.
නෙකමුණි ගුණ දරණ වතුරේගම තුම          නා
දැක ගන පින් ලබන ලෙසම සිතුවිය ම        නා
එක දවසක් සමිද දුටුවොත් යුවලැසි             නා
ලක රජ ඉසිරු සැක නොව ලැබුවා ලෙසි     නා

ඇයගේ අත පතා බොහෝ තරුණයන් ආ නමුදු මේ සුකුමාල තරුණියගේ සිත දිනාගැනීමට සමත්වූයේ එවකට ඉංග්‍රීසි සමාගම් රජයේ ආදායම් එකතු කරමින් ගමින් ගමට ගිය සිංහල සමින්දාර්වරයෙකි.  ඔහු නමින් ක්‍රිස්තෝම්බු ද සොයිසා නම් විය.  හේ තරුණ මෙන්ම කඩවසම් අයෙකුද විය.  මාතර ප්‍රදේශයේම මුදලි පෙළපතකින් පැවත ආ අයෙකි.  මේ දෙදෙනා බොහෝම හදිසියේ නෙත ගැටුනත් ඇය ඔහුට පෙම් කලාය.  නිතර නිතර අසු පිට නැගී බොහෝ තේජස් ලීලාවෙන් තමා සොයා පැමිණි මේ කඩවසම් ඉලන්දාරියාට ඇය බෙහෙවින් ඇලුම් කලාය. 

ටික කලකින් දෙමාපියන්ගේද ආශිර්වාදය ඇතිව ඇය ඔහුගේ අත ගත්තාය.  කාලයක් යනතුරුම ඔවුන් බොහෝ සතුටින් දිවි ගෙවූ අතර, එක් අවස්ථාවක ඇය තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන මෙසේ කීවාය.
ගෙදර මා ඉන්න විට දැක මුදලින්               දා
අදර කර ගියේ මා හොද හැටියට කැන්        දා
සොදුර බස් යවන පුරහම දුනි ඉන්              දා
අමර සැප අතුලෙ හැර කළෙ පෙම කැන්     දා

කෙසේ වෙතත් මොවුන්ගේ යුග දිවිය ටික කලෙකින් නිමාවට පත්වූයේ ගමින් ගමට රජයේ ආදායම් එකතුකරමින් ගිය ෂමින්දාර් වරයාට වෙනත් රුවැත්තියක් මුණ ගැසුනු නිසාය.  පැණි වරකාව මෙන් සිටි තම සැමියාගේ වෙන්වීම නිසා ඇය ඔහුට සාප කලේ මේ ආකාරයෙනි.

මට කළ විනේ කස්තානේ ඇනීය   න්
ඇට වල වලේ මැස්සන් හිස ලැගිය න්
කොටමල කසුන් සිටුවන උල ඇනීයන්
පිට පොට පිටින් උඩ හරහටු මැරීය  න්

ඒ වනවිට ඇය ගැබිනියක් මුත් තමන්ගේ දෙමාපියන්ද මිය පරලොව ගිය නිසාවෙන් ඇය සැමියාද අහිමිව මෙලොව තනිවූවාය.  එසේ තනි වුන කාන්තාවකට සමාජය සලකන්නේ කෙබදු ආකාරයටදැයි නොකිව මනාය.  කෙසේ වෙතත් දෛවය ඇයට එහෙමටම සරදම් කලේ නැත.  දුරින් නෑදෑ කෙනෙකු වන කාන්තාවක් ඇයගේ පිළිසරණට ඉදිරිපත් වූවාය.  නැත්නම් කාටත් බරක් වී ජීවත්වීම කමකට නැතැයි සිතූ ඇය සියදිවි තොර කර ගන්නට සිතා සිටියාය. 

පසුව දරුවා ලැබුණු පසු වෙනත් දරුවනට තමන් උගත් දේ කියා දෙමින් එයින් කීයක් හෝ උපයාගත්තාය.  තමන්ගේ ගම් පියසේ ජිවත් වන මේ කාන්තාව උගත් කවි කාරියක බව දැනගත් ගම්වාසීන් තම දරුවන් අකුරු ඉගෙනීමට ඇය වෙත එවුවාය.  එදා වේල පිරිමසා ගන්නට ඉන් ලැබෙන ආදායම ඇතිමුත් කලින් මෙන් සැපවත් දිවියකට නම් ඒ මුදල් ගෑවෙන්නටත් මදි බව ඇයට වැටහුණි. 

පසුව තමන්ගේ පවුලේ හිතවතෙක් ලෙස කාලයක් සිටි මාතර වැල්ලබඩ පත්තුවේ මුදලි තුමාට ඇයගේ දුක් ගැනවිල්ල කියා යැවුවේ මේ අයුරිනි. 

පින්වත් හිමි සදිනි මතු බුදු බව පත            
සම්පත් ඔබ විදින දියුණුව වැඩෙන  මෙ      
දැන්වත් මදුක ගැන පිහිටක් ලැබුනොති      
පින් අත් වේය පෙර සිට කළ පිනක් මෙ      

කෙසේ හෝ මේ පැදි පෙල කියවීමෙන්ම මුදලිතුමන්ගේ හදවත උණු වී ගියේය.  පසුව පතගා පන්සීයක් වටිනා ඉතා අගනා රන් මාලයක් ඇයට පරිත්‍යාග කිරීමට තරම් මුදලිතුමා කරුණාවන්ත පුද්ගලයෙකු වීය.

මෙසේ කාලයක් ගතවීමත් සමගම රූණ හාමිනේ ඒ කාලයේ ප්‍රදේශයේ සිටි විශිෂ්ට කවිකාරිය ලෙස ප්‍රසිද්ධ වූවාය.  අනෙක් කරුණ නම් ඇයගෙ පද ගැලපීම බෙහෙවින්ම සංවර ශීලි විය.  ඉන් මිනිසුන් බොහෝ කුල්මත් විය.  එසේම ඒ කාලයේ රටේ සිටි බොහෝ උගත් පඩිවරුන් සමගත් ලිපි හුවමාරු කරගත්තාය.  මෙසේ ලිපි හුවමාරු කරගත් අය අතර යතිවරුන්ද සිටියහ.  එවන් එක් යතිවරයෙකි බේරතුඩුවේ ධම්මධරතිස්ස මහ නාහිමියෝ.  උන්වහන්සේ බොහෝ දේ පිලිබද දැන උගත් හිමි නමක් වූ අතර බෙහෙවින් සංවර ශීලි ද විය.  උන්වහන්සේ රූණ හාමිනේ ගැන කී කවක් මෙසේය. 

නෙක රටවල ඇවිද මා දැකපු විසිතුරු
එක මුවකින් කියා නිමවන බැරි අයුරු
මෙතකට සම ලියක් නොදුටිමි මම මිතුරු
ලක රජ මහිමි නම් අද දෙමි නෙක ඉසිරු

සැමියා හැර ගියත් ඉතාමත් දුක්බර වුවද උත්සාහයෙන් ජිවිතය ජයගත් ඇය තමන්ගේ ආත්ම ගෞරවයත් ආරක්ෂා කර ගනිමින් සිය එකම දියණිය
ලොකු මහත් කලාය.  ඇය දීග ගිය දා ඇයට ඔවදන් දුන්නේ මේ ආකාරයෙනි. 

සැමදා දැනමුතු කම් සිත දර           නු
කෑමබීම ඇති සැටියට පිරි මස        නු
කෝම නමුත් පුළුවන් හැටියට කර  නු
බෝම වස්තු නැතිවට වාහෙට නොබනු

මේ ඔවදන් එදා සමාජයේ තරුණියන්ට පමණක් නොව අද කාලයට පවා ඔබින ඒවාය.  මෙම කවිය අදටත් රුහුණේ ගැමි කාන්තාවන් අතර ප්‍රකට කවියකි.

සැතපුන මුත් ඉදින ගරු තපසුන් වාගේ
මොක කීවත් ගසති ගැටයක් ගලවා ගේ
රස දුන්නත් කියති වස දුන්නා වා   ගේ
සෙවනැල්ලත් ඇදලු අත හැරෙනා දීගේ

ඇය මේ කවියෙන් කියන්නට ඇත්තේ තමන්ගේ අත්දැකීම් වුවද මේ අදහසෙහි ඇති නිවැරිදි තාවය මැනවින් පෙන්නුම් කෙරේ.  රදළ පැලැන්තියේ ඉපිද හැදී වැඩී තරුණ වියේදී විවාහව කලකින් අයසට පත් මේ උත්සාහවත් කාන්තාව අවට සමාජයේ වෙසෙන්නන් පිලිබදවලද ආකල්ප මේ කවි තුලින් හොදින් පැහැදිලි වේ.

Wednesday, October 24, 2012

ටිකක් හිනාවෙමු

අවුරුදු 3ක් විතර වයස ඇති පුංචි දැරියක් දවසක් පුරුදු විදියට එයාගේ අම්මා එක්ක ළිදට ගිහින් නාගෙන ගෙදර ආවා.  ටික වෙලාවකින් “මගේ ශරීරයට අමුතු ගතියක් දැනෙනවා,,..යි කියමින් ඇදට ගොස් නිදා ගත්තා.

“ඇයි මොකද පුතේ.....මුකුත් අමාරුවක්ද?  ඇගේ අම්මා ඇගෙන් විමසුවා.  එතකොට මෙන්න පොඩි කෙල්ල කියනවා
“ අම්මේ අර මහමායා දේවියට දැනුන එක මටත් දැනෙනවා වගෙයි....කියලා.

.....................................................................................................................................................................
වටගොඩ නමින් ප්‍රසිද්ධියට පත් එකතරා ගමක වැසියන් තමන්ගේ ජීවනෝපාය කරගත්තේ ගොවිතැන හා සත්ව පාලනයයි.  පුංචි රාළ මාමාත් මේ ගමේම පදිංචි ඉහත සදහන් කර්මාන්තයන්හි නියැලුනෙකි. දිනක් ඔහු පොලීසියට ගොස් පැමිණිල්ලක් කලේ තමන්ගේ ඉඩම ඊට අල්ලපු වත්තේ අය විසින් අල්ලලාගත් බවටයි.

ඒ ඉඩමේ විසූ පුද්ගලයා බබානිස්ය.  ඉතින් මේ බබානිස් හමුවීමට දිනක් පොලිස් නිලධාරියෙක් පැමිණියේය.  බබානිස්ද සතුන් ඇති කිරීම සිය ජීවිකාව කරගත්තෙකි.

“ඈ මිනිහෝ මොකද්ද මේකේ තේරුම?

“මොකද්ද උඹේ රැකියාව?  පොලිස් පරීක්ෂක බබානිස්ගෙන් විමසීය.

“මගේ රැකියාව ඉතින් වල් වැඩ තමයි රාළහාමි.....ගත්කටටම බබාලිස් කීවේය.  වටේ පිටේ රොක්වී සිටියවුන් ගේ සිනා හඩ නිසා තමන් කියූ දේ වැරදී බව බබානිස්ට වැටහුනි.  බබානිස් පොලිස් රාළහාමි දෙස රවා බැලුවේය.

“මොනවා යකෝ....වල් වැඩ?

“ඔව් ඔව් රාළහාමි....නමුත් රාළහාමි හිතන ජාතියේ වල් වැඩ නොවෙයි.  මම වල් කපනවා.  සත්ව පාලනය කරනවා යයි බබානිස් කීවේය.  ඉන්පසු පොළිස් රාළහාමි නිහඩ විය.

...................................................................................................................................................................
ඔන්න දවසක් මගුල් ගෙදරක ගිහින් එනකොට ටිකක් රෑ බෝවුනා.  රෑ වුනා කිවුවට 7ට විතර ඇති.  මේ නිවසේ දරුවන් දෙදෙනාම රෑ කෑම කන්නට ටිකක් මැලි කලා.  ඒ වුනාට දරුවන්ගේ තාත්තා කෑම පිගන් දෙකක් බෙදලා ගෙනත් කිව්වු,   “ඔන්න ඔක්කොම බත් ටික කාපු එක්කෙනාට ලොකු තෑග්ගක් ගෙනත් දෙනවා කියලා........

ඉතින් මේ ගෑණු දරුවා ඇහුවා “එහෙනම් මම ඉල්ලන ඕනම දෙයක් තාත්තා මට ගෙනැත් දෙනවද කියලා.....
බත් ටික කවා ගන්න ඕන නිසා තාත්තාත් ඔව් ඔව් ඕනම දෙයක් ගෙනැත් දෙනවා කියලා කිවුවා........

කතාවක් නැතිව දරුවන් දෙදෙනාම බත් ටික ඔක්කොම කෑවා.  ඉතින් තාත්තා කිවුවා.  “ආ...මගේ පුතාලා දෙන්නම හරිම හොදයිනේ.......මගේ පුංචි දුවට මොනවද ඕනෑ? කියලා

“දූ එකපාරටම කිවුවා....තාත්ති.....තාත්ති.....අර මගුල් ගෙදර ඇන්ටිට වගේ ලස්සනට ඇදලා පෝරුව උඩ නගින්න මටත් අංකල් කෙනෙක් ගෙනැත් දෙන්නකෝ.....!!!!!


Tuesday, October 23, 2012

ටිකක් හිනාවෙන්න

කණේ අමාරුවක්
 
ඔබ ආවේ ඇයි?” කියා දොස්තරගේ කාර්යාලයේදී ඔවුහු සැම විටම අසති.
කාරණාව කුමක්ද කියා ඔබට පිළිතුරු දීමට සිදුවන්නේ අනෙක් අය ඉදිරියේදීය.
 
මෙය සමහර අවස්ථාවල රෝගියා ඉතාමත් අපහසුතාවයට මෙන්ම ලැජ්ජාවටද පත් කරවයි.
අනෙකුත් රෝගීන්ද තම වාරය එනතුරු රැඳී සිටින කාමරයක දොස්තරගේ
පිළිගැනීම් නිලධාරිනිය ඔබේ රෝගය කුමක්දැයි ඇයට කියන ලෙසට බල කිරීම
තරම් නරක තවත් දෙයක් නැත. බොහෝ දෙනා මෙය අත්දැක තිබෙනු නොඅනුමානය.
 

මේ මහළු මිනිසා එහිදී ක්‍රියා කළ ආකාරය හරිම අපූරුය.


අවුරුදු
86ක් වයසැති පුද්ගලයෙක් සෙනඟ පිරුණු කාමරයට පිවිස මේසය වෙත ගියේය.

ඔව් සර්! ඔබ අද දොස්තර හමුවෙන්නේ මොකටද?” කියා පිළිගැනීමේ නිලධාරිනිය විමසුවාය.
මගේ පුරුෂ ලිංගයේ මොකක්දෝ දෝෂයක් තියෙනවාමහළු පුද්ගලයා පිළිතුරු දුන්නේය.
මෙය ඇසූ සැණෙන් පිළිගැනීමේ නිලධාරිනිය කෝපයට පත් වූවාය.


මෙවැනි සෙනඟ පිරුණු තැනකට ඇවිත් එවැනි දෙයක් කීම ඔබට වටින්නේ නැහැඇය කියා සිටියාය.
ඇයි නැත්තේ? ඔබ මගෙන් රෝගය කුමක්ද කියා ඇහුවා, මම කිව්වායැයි ඔහු කීවේය.
එවිට පිළිගැනීමේ නිලධාරිනිය මෙසේ පැවසුවාය.

ඔබ දැන් මේ සෙනඟ පිරුණු කාමරයේදී මාව ලැජ්ජාවට පත් කර තියෙනවා. 
ඔබට කනේ හරි වෙන කොහේ හරි අමාරුවක් තියෙනවා කියලා මට කියන්න තිබුණා.
 
ඊට පස්සෙ දොස්තර ළඟට ගිහින් පෞද්ගලිකව ඔබේ රෝගය ගැන සාකච්ඡා කරන්න තිබුණා.

පිළිතුරෙන් ඔබ ලැජ්ජාවට පත් වුණා නම් අමුත්තන්ගෙන් පිරුණු කාමරයක ඔබ මිනිසුන්ගෙන් ප්‍රශ්න ඇසිය නොයුතුව තිබුණාකියූ මහලු පුද්ගලයා  එතැනින් පිටව ගියේය.  මිනිත්තු කිහිපයකින් පසුව යළි පැමිණියේය.

පිළිගැනීමේ නිලධාරිනිය සිනාමුසුව
ඔව්!කීවාය.

මගේ කනේ මොකක්දෝ වැරැද්දක් තියෙනවාමහළු පුද්ගලයා කීවේය.
හිස වනමින් ඔහු පිළිගත් ඇය ඔහු තමාගේ උපදෙස් අනුගමනය කරනු දැකීමෙන්
  ආඩම්බරයට පත් වූවාය. පෙර සිනාවෙන් ම ඔබේ කනේ තිබෙන වැරැද්ද මොකක්ද සර්?” කියා ප්‍රශ්න කළාය.

මට ඒකෙන් මුත්‍රා කරන්න බැහැයැයි මහලු පුද්ගලයා පිළිතුරු දුන් විට මුළු කාමරයම සිනා හඬින් පිරී ගියේය. 

(මෙය මට ලැබුණු ඊමේල් පණිවුඩයක්.  හැබැයි වෙනත් බ්ලොග් එකක හරි කොහේ හරි තිබුණ එකක් වෙන්නත් පුළුවන්.  මේකේ මුල් ලිපිය දාපු කෙනා මට කමා කරන්ට ඕනෑ වැරැද්දක් වෙලා නම්.)