Saturday, December 10, 2011

ඔන්න දැං නිවාඩුයි



අම්මෝ පුංචි පැටවුන්ගේ මූණුවල තියෙන සතුට....!!! දැන් ඉතිං මාසයක් පුරාවටම ඔට්ටුවට දුවන්න, හැංගිමුත්තං කරන්න, බට්ටා පනින්න, ක්‍රිකට් ගහන්න, පුළුවන්නේ. මගේ අප්පෝ කොයිතරම් කියලා නම් සෙල්ලම්ද නේද? හිතේ දහසකුත් එකක් අදහස් දරාගෙන පරණ යාළුවෝ මුණගැහෙන්න හිතන් ඇති.   ගමනක් බිමනක් යන්න, නෑදෑයෝ බලන්න, ගගේ පීනන්න.  ඔන්න මාසයක්ම තියෙනවා.

ඒත් පුංචි පැටවු එහෙම සිහින මවාගෙන හිටියට ඇත්තටම ඔවුන් බලාපොරොත්තු වෙන මේ දේවල් දරුවන්ට ලැබෙනවද? නිවාඩු කාලයක් කියන්නේ නිවාඩුවක් කියලා හිතුවට බොහෝ දෙනෙක් වැඩ වැඩිකර ගන්නෙම මේ කාලයේ තමයි.  සමහර දෙමාපියන්ට විශේෂයෙන්ම අම්මලාට නිවාඩුව කියන්නේ හරිම කරදර කාලයක්.
“අයියෝ ඉතිං කණක් ඇහිල ඉන්න හම්බවෙන්නේ නැහැ....කියලා හිතනවා.  වෙනදා වගේ විවේකයක් නැති බව නම් ඇත්ත. ඒ උනාට දරුවන් ගෙදර ඉන්නකොට දැනෙන සතුට. ඔබට එහෙම හිතෙන්නේ නැද්ද?

දරුවන් ටිකක් දග බව ඇත්ත.  ඒත් මුල ඉදලම දරුවෙක් තමන්ට කීකරුව හදා ගත්තම ඒ අය මොනදේ කරන්න ගියත් තමන්ට කියන බව ටිකක් හිතලා බලන්නකෝ.  සෙල්ලම් කරන්න ගියත්, පැණි රසක් කන්න ගියත් ඔබට කියලා ඒ දේ කරනවා නම් නේද හොද? ඒත් ඒකට දරුවන්ගේ හිතේ ඔබ ගැන විශ්වාසයක් ගොඩ නැගිය යුතුයි. ඒක කරන්න වෙන්නේ බොහෝම ප්‍රවේසමෙන්.  මොකද පුංචි හිත් මල් වගෙයිනේ.

මම මගේ කෙලි පොඩ්ඩිට හැම වෙලාවකම මතක් කරනවා එයා මගේ හොදම යාළුවා බව. ඒ වගේම මමත් එයාගේ හොදම යාළුවා බව. ඒ නිසාම වෙන්න ඇති එයා ගොඩාක් දුරට මාව විශ්වාස කරනවා. හැම දෙයක්ම කරන්න කලින් මට කියනවා.  ඒත් මම ඒ දේ එයාගෙන් බලාපොරොත්තු වෙන බව අගවන්නේ නැහැ. ඒක එයාටම කරදරයක් වෙයි කියලා හිතන නිසා.  හැබැයි වැඩේ බොහොම සාර්ථකයි. 

මට කියන්න ඕන වෙන්නේ ඒකම නෙමෙයි.  දැන් නිවාඩු කාලේ නිසා දරුවන්ට අලුත් පෙළ පොත් එහෙමත් ලැබිලානේ තියෙන්නේ.  ඉතිං හැම අම්මාකෙනෙක්ම වගේ උනන්දුයි තමන්ගේ දරුවන් ඊළග අවුරුද්ද සදහා කලින් සූදානම් කරන්න.  ඒ නිසා අමතර පංති හොයනවා.  යන පංති වල කාලය තව ටිකක් වැඩි කර ගන්න බලනවා.  මම කියන්නේ මේ දේවල් එපා කියන එක නෙමෙයි.  නමුත් දරුවාගේ වයසත් එක්ක එයාට දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවානේ.  එයා කැමති දේවල් ගැනත් අපි උනන්දු වෙන්න ඕනනේ නේද? එයාලගේම කැමැත්තෙන් මේ දේවල් කරගන්න උත්සාහ ගන්නවා නම් හුගාක් හොදයි. ගැටුම් අඩුයි.  නැත්තම් මී හරක් දක්කනවා වගේ ළමයි දක්කන්න ගියොත් වැඩේ අනා ගන්නවා.  එතකොට දරුවන් නිරායාසයෙන්ම මානසික පීඩනයකට ගොදුරු වෙනවා.  ඒවායෙන් ලැබෙන ප්‍රථිපල සමහර වෙලාවට භයානකයි.

එයාලටත් ඔබට මට වගේම මානසික සහනයක් අවශ්‍යයයි.  නිතර නීති දානකොට දරුවන් කැමති නැහැනේ. මාත් එහෙමයි.  මේ පීඩනය ගැන මට වැටහීමක් තියෙනවා.  පවුලේ එකම දරුවා විදියට මම හැදුනෙත් නීති මාලාවක් මැද්දේ.  මේ පුංචි පැටවු බලාගෙන ඉන්නේ එයාලගේ පාඩම් පොත් වලින් එළියට පැනගන්න විදියක් ගැන.  දරුවන් විදියට එයාලට තියෙන්නේ සෙල්ලම් කිරීමේ නොතිත් ආශාවක්.  ඉතිං එයාල හිතනවා ලැබෙන නිවාඩුවේ සෙල්ලම් නොකර වෙන මොනදේ කරන්නද කියලා.  දෙමාපියන් විදියට අපිත් ඒ විදියට හිතන්න පුරුදු වෙනවා නම් ගැටුම් ටිකක් අඩුයි.  

දරුවන් පාඩම් පොත්වලින් සදහටම ඈත් කරන්න කියන එක නෙමෙයිනේ මෙයින් අදහස් කරන්නේ. පැයක් දෙකක් වගේ කාලයක් පාඩම් කලහම හොදටම ඇති.  ඉතිරි කාලය වෙනත් දෙවල් කෙරෙහි යොමු කරවනවා.  ඔබ හිතන්නේ පහුගිය දවස්වල අතපසු වෙච්ච පාඩම් වැඩ ටික දරුවන් ලවා මේ කාලයේදී කරවන්න. ඇත්තම කිවුවොත් ඔබට දරුවන්ගේ අධ්‍යාපනයෙන් තොර ලෝකයක් නැති තරම්.  මම මේ කියපු දෙයින් අදහස් කරන්නේ ඔයාලට දරුවන් තරම් දෙයක් නෑ කියන එක නෙමෙයි.  දරුවන්ගේ අධ්‍යාපනයෙන් තොර ලොවක් නෑ කියන එකයි.  මේක නේද ඇත්ත.  ඔබ ඔබේ දරුවා ගැන නොහිතන තරම්.  ඔබට ඕන ඔහු හෝ ඇය කප් එකක් වගේ ඔසවා තබන්න.  අනෙක් අයගේ ඔල්වරසන් හඩ අහන්න.  ඒකෙන් වඩා උද්දාමයට පත්වෙන්නේ දරුවා නොවෙයි ඔබයි. 

සෙල්ලම් කරන්න. ගමේ පන්සලට ගිහින් පැය බාගයක් විතර ඉන්න, ගහක් කොළක් හිටවන්න. අවට පරිසරය විදගන්න. මොකද දරුවන්ට මේ කාලයේ විතරයි සොබා දහමේ අසිරිය බලන්නවත් තියෙන්නේ. ඉස්කෝලේ යන දවස් වලට ඒ විවේකය ඇත්තේම නැති තරම්. ඔයාලටත් පුළුවන් නේද දවසේ වැඩ ටික ඉවර කරලා දරුවන් එක්ක පුංචි වෙලාවක් මේ වෙනුවෙන් යොදවන්න.  ඔයාලටත් පුළුවන් තමන්ගේ ළමා කාලයට ආපහු යන්න. බලන්නකෝ කොයිතරම් සුන්දරද කියලා.


පාසැල් යනවා. ඉන්පස්සේ ටියුෂන් පංති, සමහර දරුවන් ටියුෂන් දෙකකට විතර යනවා එක දවසේ. ඉතිං කොහෙද අවට බලන්න විවේකයක්. ඇතැම් දරුවන් කාටූන් ඇතිවෙනකන් නරඹන කොට තවත් දරුවන් කොටසකට ටීවී එකක් තියා රෑ කෑම වේලත් අමතක වෙලයි ගෙදර එන්නේ.  එතරම් මහන්සියි.  තමන්ට උසුලාගෙන යන්නට බැරි තරම් පොත් කන්දකුත් එක්ක නේද? අනික දුර බැහැර පාසැල් වලට යන දරුවන් බොහොම ලොකු වෙහෙසක් දරනවා. මේක තරගකාරී ලෝකයක් තමයි.  නමුත් දරුවන්ගේ පැත්තෙනුත් මොහොතක් හිතන්න.  

ගෙදර සියලු වැඩ කටයුතු ඉවර වෙලා ඔබ කරන්නේ ටීවී එක ඉස්සරහින් වාඩිවෙන එක.  බත් කන්නෙත් ටීවී බලාගෙන. එක ටෙලි නාට්‍යයක් ඉවර වෙනකොට අනික පටන් ගන්නවා.  ඉතින් දරුවන් එක්ක ගතකරන්න තියෙන කාලය බොහෝම අඩුයි.  මේ වෙලාවට දරුවෙක් කතාකලත් අම්මාට බොහෝම කරදරයක්. එහෙම නේද?

දරුවන් ලොකු මහත් කරගන්න ඔබ බොහෝම වෙහෙසක් දරනවා ඇත්ත.  නමුත් නිකමට වගේ හිතලා බලන්න ඔබ දරුවන්ගේ හිතට ඔබන්නේ ඔබේ හිතේ තියෙන බලාපොරොත්තුනේ. තමන්ට ඉෂ්ට කරගන්න බැරිවුන දේ දරුවන් ලවා කරවාගන්න උත්සාහ ගන්නවා. වැඩේ සාධාරණද? සමහර දෙමාපියන් කාලසටහනක් හදාගෙන දරුවන් යන්ත්‍ර සූත්‍ර බවට පත්කරගෙන ඒකාධිපති පාලනයක් ගෙනියනවා.  අම්මා තාත්තා ලං වෙනකොට දරුවට මුත්‍රා යන සයිස් එකක් තියෙන්නේ.  විභාගෙන් ලකුණු අඩුවීමට වඩා දරුවන් බය වෙන්නේ රිපෝට් එක ගෙදරට පෙන්වන එක ගැන. මං කියන්නේ බොරුද?

මෙහෙම යන්ත්‍ර සූත්‍ර වගේ දෙමාපියන්ට දරුවන් ටිකක් අකමැතියි.  ඒත් එයාලට ඒකට විරුද්ධ වෙන්න විදියක් නැහැ.  අපට මේ කාලයේ දරුවන් එක්ක සැබෑ අම්මාකෙනෙක්, තාත්තා කෙනෙක් විදියට ඉන්න පුළුවන් නම් හොද නැද්ද? දරුවන්ව කරේ තියාගෙන පොඩි රවුමක් යන්න. ටිකක් එළියට ගිහින් දරුවන් එක්ක සෙල්ලමක් කරන්න. මේ දේවල් වලින් දරුවන් අසීමිත සතුටක් ලබනවා.  පුංචි නිවාඩුවක් අරගෙන දරුවත් එක්ක විනෝද ගමනක් යන්න ඔයාලටත් පුළුවන්නේ.

අනෙක ටිකක් කල්පනාවෙන් වැඩ කරනවා නම් උපක්‍රම මගින් දරුවන්ට අවශ්‍ය කරන දැනුම දෙන්නත් බැරි කමක් නැහැ.  පොත පතටම යොමු වෙන්න උවමනා නැහැ.  ඒ මගින් දරුවන්ගේ මතකය වඩා ශක්තිමත් වෙනවා.  ගිරව් වගේ පාඩම් කරනවාට වඩා ඒක හොදයිනේ.  අවට පරිසරයත් එක්ක ගැටෙනවා නම් ඒ තුලින් දරුවන්ට හුගාක් දේ කියාදෙන්න පුළුවන්.  ඒකත් හරියට සතෙකු එහෙමත් නැත්නම් කුරුල්ලෙක් තමන්ගේ පැටවුන්ට ලෝකය ගැන දැනුම දෙනවා වගෙයි.  කතාකරන්න බැරි උනාට සතුන්ට බොහෝම අපූරුවට ඒ දේ කරගන්න පුළුවන් නම් කතාකල හැකි අපිට කොතරම් දේ දරුවන් වෙනුවෙන් කරන්න පුළුන්ද?

අනවශ්‍ය ලෙස දරුවන්ට බලපෑම් කරන්නට යාම නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙන බව කවුරුත් හිතේ තියා ගන්න ඕන. මම මේ පිළිබදව විශේෂඥයෙක් නොවුනට මේවා සමාජයෙන්ම දැකිය හැකි ප්‍රායෝගික දේවල්.  ඇතැම් දරුවන් අසීමිතව වෙහෙස කරවීම නිසා බලාපොරොත්තු වෙන ප්‍රතිපල නොලැබෙන බව ඔබත් දැකලා ඇති.  යාන්ත්‍රිකව හැදෙන දරුවෙක් කාලයක් ගතවෙන කොට තමන්ගේ අම්මා තාත්තා කවුද කියලාවත් අදුනන්නේ නැහැ. ඉතිං දරුවන්ට දොස් කියලා වැඩක් නැහැ.  හැබැයි කියන්නේ අපි මොනතරම් මහන්සි වුනාද? ඒත් අපිව බලන්නේ වත් නැහැ කියලානේ.  ඒත් පිලිගන්නවද ඔබ පොත පතට මුල් තැන දුන්නට දරුවන්ට ගුණ දහම් ගැන ලෙංගතුකම් ගැන දැනුවත් කලේ නැති බව.   

මම වැරදි වෙන්නත් පුළුවන්. ඔබ මට බනින්නත් පුළුවන්. ඒත් ටිකක් හිතලා බලන්නකෝ. දරුවෙක් ලොකු මිනිහෙක් වෙන්න පුළුවන්. හැබැයි හොද මිනිහෙක් වෙන එකයි වැදගත් කියලයි මම නම් විශ්වාස කරන්නේ.  ඔය නිකං ඉන්න වෙලාවට මේ ගැන හිතලා බලලා අදහස් දක්වන්නකෝ.  ගිහින් එන්නම්....!!!!!

5 comments:

  1. අක්කා බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නැති ලෙඩේට දිනේෂ් මල්ලිට කිව්වා. එයා දන්නවා මේ ගැන. මාත් හොයනවා. අද හවස් වෙනකොට මොකක් හරි පිලිතුරක් දෙන්නම් අක්කා.

    තාම මම් මේ පෝස්ට් එක කියෙව්වේ නෑ. තව ටිහිකින් ඇවිත් කියවන්නම් අක්කා. :)

    ReplyDelete
  2. අම්මා කෙනෙක්ට පුලුවන් දරුවෙක්ට ගහන්නේ බනින්නේ නැතුව කියලා දෙන්න. ඒක අම්මා කෙනෙක්ට විතරක්ම තියෙන දැනුමක් !!
    අක්කත් ඉතින් අම්මා කෙනෙක් නිසා ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනැන්නේ නෑ.

    ඉස්සර මේ කාලේ වෙනකොට අපේ අම්මා නම් කියන්නේ දැන් ඉතින් උදේ හිටන් රෑ වෙනකන්ම රණ්ඩු බේරන්න වෙන්නේ කියලා. මොකෝ අපේ මලයයි මායි පොඩි දේටත් රණ්ඩු වෙනවා.

    අක්කට ඉතින් දුවෙකුයි පුතෙකුයි ඉන්න නිසා රණ්ඩු බේරන එක නම් අඩු ඇති.

    දුවයි පුතයි දැන් කීය වසරෙද ඉගෙන ගන්නේ ?

    ReplyDelete
  3. සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව අක්කට මම් මේල් දෙකක්ම එවුවා ඔය බ්ලොග් එකේ දාලා තියෙන මේල් ඇඩ්‍රස් එකට. :)

    ReplyDelete
  4. මම මේ දවස් වල මයෙ පොඩි එකාට මොනවගේ තාත්තෙක් වෙනවද කියල හිත හිත ඉන්නෙ....

    ReplyDelete
  5. nawammawatha

    මොනවගේ තාත්තෙක්ද කෙසේ වෙතත් පුතා නම් තාත්තටත් වඩා අංඩයෙක් වෙයි

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!