Showing posts with label ලිපි. Show all posts
Showing posts with label ලිපි. Show all posts

Thursday, October 11, 2012

කෙල්ල හොයාගන්නේ සුවදින්ලු!!!!!


දැන් මම කියන්න හදන්නේ ගද සුවද ගැන.  සුවද නම් ඉතින් කාටත් ඉමහත් සතුටක් ප්‍රබෝධයක් ලබා දෙන කාරණාවක්නේ.  ගද නිසා ඇති වෙන්නේ ඊට හාත්පසින්ම වෙනත් තත්වයක්.  මොනවා වුනත් අපිට වඩා ගද සුවද දැනෙන කට්ටියක් ඉන්නවා ඒ තමයි සතුන්.  ඒ අතින්නම් අපි බොහෝ සතුන්ගේ අහලකින්වත් තියන්නට බැහැ.  ඔවුන් ඒ තරමටම සංවේදියි. 

මේ අතිශය සංවේදී ඉන්ද්‍රියයන් නිසා ඔවුන්ගේ ආරක්ෂාව, වර්ගයා බෝ කිරීම, වගේ සේවාවන් ගණනාවක් මනා ලෙස ඉටු කරගන්නවා.  ඇතැම් කෘමී සතුන්ගේ ඇස් පෙනීමටත් වඩා මේ ගද සුවද දැනීමේ හැකියාව තියුණු නිසා ජිවිතය ගෙනයාමට බොහෝ සෙයින් උපකාරී වෙනවා.

ඔවුන් තමන්ගේ සහකාරිය හෝ සහකාරයා සොයා ගන්නේ පෙනුම නිසා නෙමෙයි.  සුවදෙනුයි.  ඇතැම් කෘමී සතුන් තමන් වෙතට සහකරුවෙක් ගෙන්වා ගැනීමට අවශ්‍ය වූ විටෙක ශරීරයේ ග්‍රන්ථියකින් සුවදක් පිටකරනු ලබනවා.  මේ සුවදට වශී වෙලා තමයි ඔවුන් තමන්ගේ සහකාරිය සොයාගෙන දුරු කතර ගෙවාගෙන එන්නේ.  එක්තරා අවස්ථාවකදී මේ ගැන කරනු ලැබූ පර්යේෂණයකින් හෙළි වුනේ මෙම ඉන්ද්‍රිය ගලවාගෙන එය ගැහැණු සතා අසලම තැබූ විට පිරිමි සතුන් රොක් වෙන්නේ ගැහැණු සතා වටේ නොව අර ඉහතින් සදහන් කල ඉන්ද්‍රිය වටායි. වසර ගණනාවක්ම පර්යේෂණ කිරීමෙන් පස්සේ මහාචාර්ය ඇජෙල්ප් බියුටෙනාඩිටි සමත් වෙලා තියෙනවා මේ ගැහැණු සතුන් විහිදුවනු ලබන සුවද කෘත්‍රිම ආකාරයෙන් නිපදවන්න.  ඔහු ඒවා වීදුරු නලයකට ගල්වා බැලූ කල පිරිමි සතුන් එය වටා රොක්ව ඇති ආකාරය දකින්නට ලැබී තිබුනා. 

එක් කෘමි විශේෂයක් තමන්ගේ ප්‍රේමය ප්‍රකාශ කිරීමේ ඇමතුමක් ලෙස ගනන්ගත හැකි සුවද විහිදුවන්නේ පිරිමි සතුන්.  ඇතැම් අවස්ථාවලදී එක් ගසකින් තවත් ගසකට යමින් ගස්වල කදවල් සිඹිමින් යන ඔමර මැස්සන් කවුරුත් දැක ඇතුවාට සැකයක් නැහැ.  ඔවුන් ඒ ආකාරයෙන් ගස්වල කද සිඹිමින් යන ගමන්ම එම ගස්වල යම් සුවදක් තවරනවා.  ඹමර මැස්සියන් මේ සුවද හදුනනවා.  මේ ආකාරයෙන් ගැහැණු සතුන් ගසෙන් ගසට යන විට අර සුවද දැනුනම තමන්ට සහකාරයෙක් එනතෙක් ඒ ගස වටා කැරකෙමින් සිටිනවා.  ඔමර මැස්සොත් නොවරදවාම සුවද තැවරූ තැන්වලට එනවා.  හුගක් කෘමී සතුන්ට ඉතාමත් සියුම් ආකාරයෙන් සුවද සගවා ගැනීමට හැකි ඉන්ද්‍රියයන් තිබේ.  හිසෙන් එන සිහින් කෙදි  මෙන් ඇති ස්පර්ශක මිනිසුන්ගේ නාසයට බොහෝ සෙයින් සමානයි.  නමුත් ඒවා පිහිටා තියෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස කිරීමට නම් නොවෙයි.  සුවද හදුනා ගැනීමට පමණයි.  බැහැයි මේ කෘමී වර්ග වලට විශේෂ වූ වෙනස් වෙනස් සුවද තියෙනවා.  ඒවා තමන්ගේ වර්ගයාටම පමණක් ආවේනික වූ සුවද වෙයි.

මී මැස්සන් ගැන යමක් සදහන් කරනවා නම් ඔවුන් දකින දකින හැම මලකින්ම හිතුමතේ රොන් ගන්නේ නැහැ.  ඔවුන් එක් එක් මල් වර්ග තමන් අතර බෙදා වෙන් කරගෙන තියෙනවා.  මෙසේ බෙදාවෙන් කරගන්නට ඔවුන්ට ඒවායේ ඇති සුවද මහත් රුකුලක් වෙලා තියෙනවා.  ඒ සදහා ඔවුන්ට තියුණු ලෙස සුවද දැනීමේ ඉවක් තියෙනවා.  ඉන් ඔවුන් මහත් ළුල ප්‍රයෝජන ගනු ලබනවා.   

ටිකක් ඈතකට පියඹා ගිය මී මැස්සෙකුට තමන් රොන් ගන්නා ආකාරයේ මලක් හමුවූ විට නැවතත් මීයට පැමිණ නටනවා.  මේ නැටුම එම රොන් ඇති මල ඇති දුරත් එහි දිශාවත් අනිකුත් මී මැස්සන්ට කියාපාන ලකුණුය.  මේ නැටුම කරන අතරතුරේදී මි මැස්සෝ ඇවිත් උන්ගේ සියුම් ස්පර්ශය කර රොන් ඇති මල කුමන වර්ගයකට අයත් එකක්ද කියලා සොයා ගන්නවා.  මේ විදියට දැනගන්නේ නටන මී මැස්සාගේ සිරුරේ තැවරිලා තියෙන පරාග වලිනුයි.

කෘමීන්ට වගේම ආහාර සොයාගන්නට ක්ෂීරපායී සතුන්ටත් සුවද උදව් වෙනවා.  මාළුවන්ටත් සුවද හදුනාගන්නට ඉතා තියුණු හැකියාවක් තියෙනවා.  පරීක්ෂණ කිරීමට උන්ගේ ඇස් ඉවත් කලවිටත් සුවදින් තමන්ගේ වර්ගයේ මාළුන් සොයා කෑම සොයා ගැනීමට ඔවුන්ටත් හැකියාවක් තියෙනවා.  ආදාටද බල්ලාට වගේම තියුණු ඉවක් හා සුවදක් දැනීමේ හැකියාවක් තියෙනවා. 

මේ හැම දෙයක්ම සතුන්ට තිබුනත්  වැඩේ කියන්නේ මිනිහාට ඕක නොදැනෙන එකනේ!!!!!!


(පැරණි ලිපියකින් කරුණු සොයාගත්තා)

Tuesday, April 17, 2012

සිංහල අවුරුද්ද



ලැබුවාවු සිංහල හින්දු අළුත් අවුරුද්ද හැමෝටම සුභම සුභ අවුරුද්දක් වේවා කියලා පතනවා.  සතියකට විතර පස්සෙයි මාත් මේ පැත්තට ආවේ.  පහුගිය දවස් ටිකේම ගජරාමෙට වැඩ තිබුනා.  හැමෝටමත් එහෙම වෙන්ටැ මයේ හිතේ.

සිංහල අවුරුද්ද කියන්නේ අපේ ජාතියේ පරාක්‍රමය විදහා පාන සංකේතයක් කියලයි මට හිතෙන්නේ.  එයින් රසවත් වීම, ප්‍රාණවත් වීම අපේ ආදී මුතුන් මිත්තන්ටත් කරන ගෞරවයක්නේ.  ඕනෑම ජාතියකට ආවේනික වෙච්ච සිරිත් විරිත් තියෙනවානේ.  නෑඹුල් ජාතික සුවදක් වහනව වන ඒවගේ සිරිත් විරිත් හා ක්‍රීඩා එළි දකින්නේ මේ වගේ විශේෂ උත්සව අවස්ථාවකදීම තමයි. 

අළුත් අවුරුදු උත්සවය ලංකාවට පමණක් සීමාවුන දෙයක් නෙවෙයි.  බුරුමය, සියම,කාම්බෝජය, ලාඕස් වැනි රටවලත් මේ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනවා.  බුරුමය, කාම්බෝජය වගේ රටවල් වර්ණවත් සුවද ජලය එකිනෙකාට ඉසගැනීම සම්ප්‍රදායික අවුරුදු චාරිත්‍රයක් ලෙස කරනු ලබනවා.  බුරුමයේ ජල උත්සවය නමින් හැදින්වෙන අළුත් අවුරුදු උළෙල පාකිස්ථානයේදී බයිෂාකි නමින් හැදින්වෙනවා.  ලෝකයේ බොහෝ රටවල අස්වැන්න කපා පාගා අටු කොටු පුරවා ගන්නා මාසය තමයි බක් මාසය කියන්නේ.  මේ කාලය ගොවි ජීවිතයේ සෞභාග්‍යමත් කාලයයි.  ඒ නිසා හිතේ හැටියට කාල බීල කෙළිදෙළෙන් උත්සව පැවැත්වීමට අප්‍රේල් මාසය තරම් සුදුසු කාලයක් නැති තරම්. 

සූර්ය මාස නැකැත් කෙළිය, කෝණ  යන නම් වලිනුත් හැදැන්වෙන මේ මහා සැණකෙළිය සුර්යයා රාශි දොළහේ ගමන් කරලා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම නිමිති කරගෙන පැවැත්වෙනවා.  අළුත් අවුරුදු උළෙල මේ විදියට උත්සවශ්‍රීයෙන් පැවැත්වීම භාරතයේ කණිෂ්ක රජ සමය තෙක් අතීතයට දිව යන්නක්.  එය ලංකාවාසීන්ගේ උත්සවයක් බවට පත්වන්නේ හින්දු සභ්‍යත්වයේ ආභාෂයෙනුයි.  මුල් කාලයේදී දේව ඇදහිල්ල මුල් කරගෙන මේ උත්සවය පැවැත්වුනත් පසු කාලීනව බුදු සසුන පිහිටුවීමෙන් පස්සේ ලංකාවාසීන්ගේ අවුරුදු සිරිත් බෞද්ධ ප්‍රතිපත්ති මුල් කරගෙන හැඩ ගැසෙන්නට වූ බව සදහන් වෙනවා.  මෙය ජාතික උත්සවයක් බවට පත්වන්නේ පොළොන්නරු අවදියෙන් පසු බව විද්වතුන්ගේ පිළිගැනීමයි. 

අවුරුදු උළෙල මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්වූ යුගයක් ලෙස මහනුවර යුගය හැදින්විය හැකියි.  ඒ කාලයේ රටවැසි හැම දෙනාම අළුත් අවුරුදු දින තම තමන්ගේ සුපුරුදු වැඩවලින් ඉවත්වෙලා සුබ නැකැත් අනුව චාරිත්‍ර පවත්වමින් කෙළි දෙලෙන් කාලය ගත කල බව රොබට් නොක්ස්ගේ වාර්තාවලින් පැහැදිලි වෙනවා. 

අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් ලබන අවස්ථාවේ රජතුමා දළදා සමිදුන් ඉදිරියෙහි ඉමහත් බැති අදරින් යුතුව ගත කලේ මුළු රටටම දළදා හිමියන්ගේ ආශිර්වාදය ලබා ගනු පිණිසයි. 

සිංහල අළුත් අවුරුදු උළෙල වෙනුවෙන් පළමුවෙන්ම නැකැත් මාලාවක් සකස් කරන ලද්දේ පුලතිසි සෘෂීන් වහන්සේ විසින් බවයි සදහන් වෙන්නේ.  සූර්ය සංක්‍රාන්තිය පදනම් කරගෙන විශ්වයේ සිදුවන මේ අසිරිමත් විපර්යාසය එක්ක වායු මණ්ඩලයේ අභිනව වාතාවරණයක් බිහිවනු ඇත.  මිනිස් ජීවිත කෙරෙහිත් ඒ විශ්ව ශක්තිය බලපායි.  ඒ නිසා එයට අනුකූලව අපේ ජීවිත හැඩගස්වා ගැනීම ස්වභාවික පරිසරයටද අනුකූල වන්නක්.  මේ වාගේ අවස්ථාවක සුබ නැකැත් මාලාවක් අනුව ජීවන ගමනේ නව පිටුවක් පෙරලීමෙන් හැම අංශයකින්ම උසස් ප්‍රථිපල ලබාගත හැකි බව පිළිගැනීමයි. 

ඉස්සර කාලේ මේ නැකැත් මාලාව සකස් කරන ලද්දේ රජවාසල නැකැත් රාළ විසිනුයි.  ඔහු කල් තියාම පිළියෙල කර ප්‍රකාශයට පත් කරනු ලබන මේ සුභ වේලාවන් රජතුමා ඇතුළු හැම රටවැසියෙක්ම මහත් ගෞරව භක්තියෙන් යුතුව පිළිගෙන අනුගමනය කරන බව පෙනෙන්නට තිබුනි.  අළුත් අවුරුද්දට පේවීම සදහා ස්නානය කිරීම, නව සද බැලීම, වැඩ අත්හැරීම, වැඩ ඇල්ලීම, ලිප ගිනි මෙලවීම, ආහාර අනුභවය, හිස තෙල් ගෑම, රැකී රක්ෂා වලට පිටත්වීම වගේ වැදගත් කටයුත්තකදි නැකත් අනුව වැඩකටයුතු කිරීම අපේ සම්ප්‍රදායයන් වුනේ මේ විදියටයි.

නොනගතය කියලා කියන්නේ නැකැත් නැති කාලයයි.  කිසිම සුබ කටයුත්තක් කිරීමට ඒ කාලය යොදාගන්නේ නැහැ.  දෙවියන් සම්බන්ධව නොයෙක් මත ඇතත්,  මිනිස් ලොවට බැල්ම හෙලන දෙවි දේවතාවුන් සිටින බව පිළිගන්න පුළුවන් බව පොත පතේ සදහන් වෙනවා.  හිරු දෙවියන් මීන රාශියේ ඉදලා මේෂ රාශියට පැමිණෙන විට සෞරග්‍රහ මණ්ඩලයේ සිදුවන විපර්යාසයන්ට මුහුණ දීමට නොහැකිවන දෙවියන් මිනිස් ලොව සමග පැවති සම්බන්ධතාවයන් හැර දමා තම තමන්ගේ වාස භවනයන් වෙත පැමිණෙනවා.  මේ විදියට දේව බැල්මෙන් ඉවත්වීම හේතුකරගෙන අසරණ වන මිනිසා කරා නොයෙක් අන්දමේ විපත් පැමිණීමට තියෙන ඉඩකඩ ප්‍රමාණය වැඩියි.  පුණ්‍ය කාලය ලෙස නම් කර ඇති මේ කාලය තුළදී ආගමානුකූල වත් පිළිවෙත්වන යෙදෙමින් සිත පිරිසිදුව තබා ගැනීම හොද බව භාරත ශාස්ත්‍රයෙහි දක්වා තිබෙන්නේ මෙබදු විපත් අවම කරගැනීමට පිටිවහලක් ලෙසයි.  

මේ නොනගත කාලය අපේ මුතුන් මිත්තන් නම් ආගමික කටයුතු සදහාම කැප කලා.  නමුත් අද තත්වය නම් ඊට හාත්පසින්ම වෙනස්.  මිනිසාගේ ජීවන රටාවේ හා ඔවුන් ජීවත් වන පරිසරයට අනුගත වීමක් වශයෙන් මේ වනවිට බොහෝ වෙනස් කම් සිදුවෙලා තියෙනවා.  අද රට දිහා බලනකොට සුරාව සූදුව නොමැති ගමක් නගරයක් සොයාගැනීම හරිම දුෂ්කර කාරණාවක් වෙලා තියෙනවා.  

තවත් කොටසක් මේ නැකැත් ක්‍රමය කිසිම ගරුසරුවක් නැතිවම අනුගමනය කරන බවත් පෙනෙන්නට තිබෙනවා.  තවත් කොටසක් කියන්නේ මේවා වැදගැම්මකට නැති දේවල් බවයි.  අවුරුදු නැකත් පිළියෙල කරන ආකාරයෙත් යම් පරස්පරතාවයන් නැතුවාම නොවෙයි.  මේ පාර අවුරුද්දේ නැකැත් ගැනත් විවිධ මත පළ වෙන්නට පටන්ගත්තා මතක ඇති.  (මම නම් මේ ජ්‍යෙතිශ විෂය ගැන මොනවත්ම දන්නේ නැත.)
මෙම අවුරුදු සිරිත් විරිත් අනුගමනය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සාමය සමගිය වගේම අළුත් හිත මිතුරුකම් ඇති කරගැනීම, නෑදෑ සම්බන්ධ කම් අලුත් කරගැනීම, අපේ සාම්ප්‍රදායික සිරිත් විරිත් නැවත නැවතත් මතකයට ගැනීම, තරහා මරහා නැති කර හොදින් කල දවස ගත කිරීමට අඩිතාලම දමා ගැනීමයි. 

අප අතර තිබූ කෙළි සෙල්ලම් පවා ඉහත කාරණාවලට උදාහරණ සපයයි. ගමේ කම රැක ගනිමින් තරගයට රබන් වයන ලදුන් පිරිසකි.රබානේ ගිතවත් බවින් රසවත් වන බාල තරුණ මහළු හැම දෙනාම බතින් බුලතින් සංග්‍රහ ලබනවා.  සහයෝගය පදනම් කරගත් සුහද බවින් පිරි සාමකාමී දිවියකට රබාන මග පෙන්වන්නේ ඒ අයුරිනි.

ඔන්චිල්ලාවත් ගමේ අවුරුදු සිරියට නැවුම් මුහුණුවරක් ගෙන එනවා. ඒත් එක්කම අවුරුදු සිරිය වැඩි කරන්නට එක්වෙන කෙලි සෙල්ලම් බොහෝමයි.  අන් ඇදීම, පොර පොල් ගැසීම, පන්දු ගැසීම, පංච කෙළිය, මේවර කෙළිය, ඔළිද කෙළිය, ලී කෙළිය, බූ කෙළිය, කඩු හරඹ, අංගම් කෙටීම, මල්ලව පොර, ඇත් පොර, ගව පොර, තරග තරග, කොට්ට පොර, ආදී සිය ගණනක් ජාතික ක්‍රීඩා ඇත. එහෙත් අද බොහෝ දෙනා මේ ක්‍රීඩා ගැන දන්නේ නමින් පමණි.  ශාරීරික හා මානසික වර්ධනයට ඉවහල් වන මේ ක්‍රීඩාවන් නිසා ඉවසීම, ආත්ම දමනය, පරෝපකාරය, වැනි උසස් මානුෂික ගුණාංග ද පුරුදු පුහුණු වේ.

සිංහල අවුරුදු උත්සවය මගින් පුද්ගලයාගේ අධ්‍යාත්මයම පිරිසිදු වෙයි.  එවැනි මානසික සංවර්ධනයක් ඇති පුද්ගලයන් නිසා පවුලේ සාමය, සමගිය, නිරන්තරයෙන්ම ආරක්ෂාවෙයි.  ඒ මගින් ගමේ සාමය හා රටේ සාමයත් තහවුරු වෙයි.  නමුත් දැන් බොහෝ දෙනා මෙම සිරිත් විරිත් මිත්‍යාවන් ලෙස සලකා බැහැර කරනු ලබයි.  මේ වටා බැදුනු සිරිත් විරිත් බොහෝමයක් ජන ජීවිතයෙහි අධ්‍යාත්මික ගුණ වගාව, ප්‍රීතිය, යහපත් සෞඛ්‍යය වැනි විවිධ අංගයන්ගේ පැවැත්ම පැත්තට යොමුව ඇත.  මට හිතෙන විදියට නම් මේ හේතුත් සැලකිල්ලට ගෙන  අපි අභිමානවත් ජාතියක් ලෙස ඉදිරියට යන්නට නම් පැරණි සිංහල සිරිත් විරිත් අහක නොදා ඒවාට නව පණක් දෙමින් අළුත් අවුරුදු උත්සවයට සැබෑ අවබෝධයකින් යුතුව අප සහභාගී විය යුතු වන්නේය.