Tuesday, December 27, 2011

බතට රස මාළු


ලෝකයේ සියළුම ජාතීන් ප්‍රිය කරන ආහාරයකි මාළු.  ලංකාව වැනි රටවල ප්‍රධාන ආහාරය ධාන්‍ය වලින් සැකසුනත් ඇතැම් සමුද්‍රාසන්න රටවල ප්‍රධාන ආහාරය ලෙස සැලකෙන්නේ මාළුයි.  නිරක්ෂයට ආසන්න රටවල රටවල මිනිසුන්ගේ ආහාරය ධාන්‍ය අල බතල එළවළු පලා වර්ග  වලින් යුක්ත වුනත් එය පරිපූර්ණ ආහාරයක් බවට පත් කරගන්නට නම් මාළුත් එකතු කර ගැනීම අවශ්‍යවේ.  ඇතැම් රටවල මිනිසුන්ගේ එකම ආහාරය මාළුය. 

මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භයටත් පෙර සිටම මිනිසා ලොව පහල වූ අවධියේ සිටම මසුන් ආහාරයට ගැනීම පුරුද්දක් කරගෙන ඇතැයි විශ්වාස කරන්නට කරුණු තිබේ.  දැනුත් වෙරළ ආසන්න ප්‍රදේශවල මිනිසුන් ආහාරයට ප්‍රධාන වශයෙන්ම මාළු එකතු කරගනු ලැබේ. 

මාළු ඇල්ලීමේ කාර්යයට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇතැ බවට සාක්ෂි ඇත.  “ආදා යවා වල්පත ගත්තා සේ... “කෙමෙන පිට වල් පුදන්නා සේ....වැනි යෙදුම් ඇතුලත් කර අපේ පැරණි පොත පතේ මසුන් මැරීම පිළිබද තොරතුරු අණාවරණය කර ඇත.  පුරාණ සිංහලයන් අමු හා වියළි වශයෙන් මසුන් ආහාරයට ගත් බවට ඇතැම් ඉතිහාස තොරතුරු සාක්ෂි දරයි.

වෙරළබට ප්‍රදේශවාසීන්ට සුලබවම මාළු ලැබේ.  ඔරු වැල්ලෙන් වෙරළාසන්න පාරිභොගිකයන්ට ලාබෙට මූදු මාළු ලැබුනත් රට ඇතුලට වෙන්නට මාළු මිල ගනන් ඉතා ඉහල අගයක් ගනී.  එසේම රට අභ්‍යන්තරයට වන්නට ලැබෙන මාළු තරමක් පරණ වේ.  ලෙල්ලමෙන් අලුත් මාළු මිලදී ගත හැකියි

මුහුදේ මාළු ඇල්ලීම හැමදාමත් එකම විදියට කරගෙන යාමට හැකියාවක් නැත.  මුහුදේ ප්‍රචන්ඩකාරී ස්වභාවය හේතුවෙන් මාළු අල්ලන කාල සීමාවන් වෙනස්වේ.  වාරකන් කාලයේදී මුහුදු ගමන් බෙහෙවින්ම අඩුය. ඒ කාලයේදී මුහුද රළු ස්වභාවයක් ගනී.  මේ කරුණු සැලකිල්ලට නොගෙන මුහුදු යන්නන්ට මේ කාලයේදී නොයෙක් ගැහැට වලට මුහුණ පාන්නට සිදුවේ.  නමුත් ඒ කාලයේදී ලොකු මාළු අල්ලාගැනීමට හැකි නිසා ධීවරයන්ගේ අතමිට සරු වන කාලයකි. 

බලයන්, තෝරු, මෝරු, කෙලවල්ලන් වැනි ලොකු හා ජනප්‍රිය මාළු අසුවෙයි.  වාරකන් කාලය ඉවරවී ලබන හරාව කාලය මසුන් බහුලව සිටින කාලයකි.  වැඩි දෙනෙක් මුහුදු යති.  නමුත් මේ කාලයේදී වැඩිපුරම හසුවන්නේ කුඩා මාළුන්ය.  හාල්මැස්සන්, සූඩයින්, හුරුල්ලන්, සාලයින්, ඉස්සන්, පොඩි හාල්මැස්සන්, කූනිස්සන්, කටිල්ලන්, වගේ මාළුන් මේ අතරවේ.  මාළු බහුලවන විට මිලගණන්ද පහත වැටේ.  කරවල වේලීම නිසා මාළු නරක් නොවී වැඩි කාලයක් තබා ගත හැකිය. 

වෙරළාසන්න පෙදෙස්වලින් ඈතට වන්නට රට මැද ජීවත් වන්නන්ට පහසුවෙන්ම මිරිදිය මාළු ලබාගැනීමේ හැකියාව ඇත.  මේ වනවිට යම් යම් හේතූන් නිසා මිරිදිය කර්මාන්තය හීනවී ඇතත්, පුරාණයේ නම් අපේ රටේ උදවිය සුලභව ආහාරයට ගත්තේ මිරිදිය මසුන්ය.  වැව් ගංගා වලින් පමණක් නොව වෙල් වලින් පවා මාළු ඇල්ලීම කෙරිනි.  අද වෙල් මාළු එතරම් නැති වුනත් පුරාණයේ ගොවීන් අතර වෙල් මාළු ජනප්‍රිය කෑමක්ව පැවතිනි. 


මිරිදිය මසුන් අතර ලූලා වඩාත් ජනප්‍රිය මාලුවෙකි.  ලූල් මාළු හා ආදා මාළු ලෙඩුන්ට ගුණදායක ආහාරයක් ලෙස පැරැන්නන් සැලකූහ.  මිරිදිය ජලාශවල ආදා කිහිපවර්ගයක් වෙසෙති.  ගල් ආදා, (මේ අය නම් අප අතරත් වෙති), මඩ ආදා, කළු ආදා, මූදු ආදා, කහ ආදා, කක්කුටු ආදා, පොල් මල් ආදා, වැලි ආදා, පොට්ට ආදා, පුල්ලි ආදා වැනි විවිධ නම් රැසක් ඉපැරණි අය සදහන් කරති.  ආදා දියේ මෙන්ම ගොඩද ඇවිදින බව කියවේ. 

ලූල් මාළු ලේවඩවන මාලුවක් ලෙස ගම්මුන් අතර ජනප්‍රිය වූවා මෙන්ම කවුරුත් පාහේ ප්‍රිය කරන කෑමකි.  අඩි 3ක් 4ක් පමණ දික්වූ ලූලා මිරිදියෙහි වාසය කරන ඥානවන්තයෙකු ලෙසද සැලකෙයි.  එමෙන්ම කනයා මෝඩ මාලුවෙකු ලෙස සැලකේ.  “ලූලා නැති වලට කනයා පණ්ඩිතයා යන්නෙන් ඒ බව සනාථ වෙයි. 

“ඇල් හාලේ බත් පිසුවයි       කියාපන්
ලූල් මාළු හොදි පිසුවයි          කියාපන්
මාළු නැතිව බත් නොකතෙයි කියාපන්
රෑට බතට මම එනවැයි           කියාපන්

මේ ආදි කවිවලිනුත් ලූලාගේ ජනප්‍රිය භාවය ප්‍රකටවේ.  එසේම ගංගාවල වාසය කල මාළුන් අතර ජනප්‍රිය මාළුවෙකි ලෙහෙල්ලා.  විශාල මෙන්ම රසවත් මාළුවෙකු ද වෙයි.   වර්තමානයේ නම් ලෙහෙලුන් ඉතා හිගය. 
මිරිදිය මසුන් අතර මගුරා, ඉලයා, කොරලියා, කනයා, දන්ඩියා, තිත්තයා, ආරා, මගුරා, හුංගා, කාවයියා, ප්‍රධාන තැනක් ගනී.  මිරිදියේ වසන පෙතියා නැමති මාළුවා අහිංසකයෙකු ලෙස සැලකෙයි. පෙතියා දියේදී කඩිසර මාළුවෙකු වුවත් ගොඩ දැමූ විගස සියලු හපන්කම් අහවර වෙයි.  නමුත් පෙතියා රසින් අඩු මාළුවෙකු ලෙස ගම්මුන් සලකනු ලබයි.  නමුත් ඇල්ලීමෙදී ඉතාමත් පහසුයි. 


මිරිදියේ තවත් ලොකු මාළුවෙකි වලයා.  අඩි 6ක් හෝ 7ක් තරම් දිග වන ඌ වැව්වල සිට අසුවී ඇත.  ආදාට සෑහෙන තරම් සමාන පෙනුමක් ඇති තවත් මාළුවෙකු නම් තෙලියාය.  තෙලියා මාළු ඉතා රසවත් බව කියති.  තෙලියන් වර්ග කිහිපයක් ඇත.  රන් තෙලියා, ගං තෙලියා, ඕ තෙලියා, මූදු තෙලියා, බට තෙලියා, ගෝමර තෙලියා ආදිය ඉන් සමහරකි. 

තිත්තයින් මිරිදිය මාළුන් අතර දූගී මාලුවෙකු ලෙස සැලකේ. තිත්තයින් අල්ලා ගන්නා ඊටත් වඩා දුගියෙකු ලෙස සැලකෙයි.  තිත්තයින් වේලාගත් කල මැල්ලුම ඉතා රසවත්ලු.  මේ මාළු බොහෝ ප්‍රදේශවල ඉතා දුලබය.  ජලය හිනවීම, කෘෂිනාශක භාවිතය ආදිය නිසා මිරිදිය මසුන් වදවී යමින් පවතියි.  ඒ වෙනුවට වෙනත් නව මත්ස්‍ය වර්ග බෝකරගෙන යනු ලැබේ.

2 comments:

  1. මාළු අල්ලන්න ඩයිනමයිට් දාන එක නම් මම් අනුමත කරන්නේ නෑ. එතකොට මාළු සේරම සමූල ඝාතනය වෙනවා පොඩි එවුන් හිටන්.

    මාලු කෑල්ලක් තියේ නම් මාත් මාරම ආසයි බත් කන්න. :)

    ReplyDelete
  2. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!