Friday, September 30, 2016

අද සමරන ලෝක ළමා දිනය



ළමයින් කියන්නේ හරියට මල් වගේ කියලයි ඉස්සර නම් කියන්නේ.  ඒත් අද සමාජ තත්වය දිහා බලනකොට ළමයින්ට මල් වගේ කියලා කියන්නම හොද නැහැ.  මල් වලට එන්නේ සමනල්ලු, ඹමරු, මී මැස්සෝ, පුංචි පුංචි කුරුල්ලෝ.  එයාලා එන්නේ මල් පැණි බීල යන්න. මලේ සුන්දරත්වය විදගන්න නෙමෙයි.  කුසගින්න නිවා ගන්න.  අපේ සමාජයෙත් මේ වගේ මිනිස් වෙසින් ඉන්න ඹමරු, මි මැස්සෝ ඕන තරම් ඉන්නවා.  ඉතිං අපි මොකටද අපේ දරුවන් මල් වගේ කියන්නේ.  දරුවන්ගේ ඇගේ මැස්සෙක්වත් වහනවට අපි කැමති නැහැ නේද? 

අද කාලේ දරුවන්ට සමාජයෙන් වෙන හිරිහැර කරදර බොහෝමයි.  ඒ නිසා අපි කියමු අපේ දරුවන් සමනල්ලු වගේ අහිංසකයි.   බට්ටිච්චන් වගේ දොඩමලුයි.  පුංචි අලි පැටවුන් වගේ දගකාරයි කියලා.  අපි දරුවන් ගැන එහෙම කතා කලාට ඇත්තටම හැම කෙනෙක්ම දරුවෝ දිහා ඒ විදියට බලනවාද? ඔවුන්ට දරුවන්ට වගේ  සලකනවාද?

වර්තමානයේ මේ මාතෘකාව වෙනමම විශේෂයෙන්ම හිතන්න ඕන කාරණාවක් වෙලා? ඔයාලා හිතන්නේ එහෙම වෙන්න හේතුව මොකක් කියලද? හේතු කාරණා ගොඩයි.  එහෙම නේද??

පළමු කාරණාව දරුවෙක් බහතෝරන කාලයේ ඉදලම වද හිංසා වලට ලක්වෙන්නේ තමන්ගේම ගෙදරදී. දෙමාපියන් අතින්. දරුවෙක් බහතෝරන කොටම අපි අපේ මව් භාෂාව වෙනුවට දරුවාට ගෙදර කොහෙත්ම භාවිතයේ නැති පර භාෂාවකින් කතා කරන්න අමාරුවෙන් පුහුණු කරනවා. කතා කරන බාෂාව ගැන දෙමාපියන්ට හරි වැටහීමකුත් නැහැ. ඔය එහෙන් මෙහෙන් ඇහිද ගත්තු කෑලි කතා කරනවා. අන්තිමේදී ලමයා සිංහල දන්නෙත් නැහැ. ඉංග්‍රීසි දන්නෙත් නැහැ. එයා අතරමං වෙනවා.

ඊලගට එයාව අවුරුදු තුනේදි විතර ළදරු පාසැල් වලට දානවා. ළමයින්ට දෑතේ ක්‍රියාකාරකම්, නැටුම් ගැයුම් වෙනුවට සෙල්ලම් කිරීම වෙනුවට අකුරු උගන්වන පෙර පාසැල් හොයාගෙන දෙමාපියන් බොහෝ දුර බැහැර යනවා. දරුවාගේ මනස, දරුවාගේ කාලය හා ඒ වෙනුවෙන් දරුවෙකු වෙන මහන්සිය ගැන දෙමාපියන් හිතන්නෙම නැහැ.  ඒකත් ඉංග්‍රීසියෙන් උගන්වන පෙර පාසැලක් වෙනවට දෙමාපියන් ගොඩක් කැමතියි.  බැරි වෙලාවත් පෙර පාසැලේ අකුරු උගන්වන්නේ නැත්නම් ඉතිං ටීචර්ගේ ගෙදර උදවියත් මතක් කරලා බනිනවා.  අවු. 3 -4 කාලය අම්මාගේ සෙනෙහස වැඩියෙන් දරුවන් සොයන කාලයක්.  ඒත් බොහෝ කාර්ය බහුල දෙමාපියන් කරන්නේ දරුවා වෑන් රියකට පටවනවා. ඒකේ යන්නේ එන්නේ කොහොමද කියන එක ගැන සොයා බලන්නේ නැහැ. හවස් වෙනකන් සුරැකුම් මධ්‍යස්ථාන වල දරුවෝ රදවා තබනවා.

ඉන්පස්සේ අවු. 05 සම්පූර්ණ වෙනකොට ජනප්‍රිය පාසැල් හඹායන දෙමාපියන් දරුවන්ගේ පහසුකම් ගැන නොසොයා නොබලා ලක්ෂ ගණන් වියදම් කරලා ලොකු පාසැල් තෝරනවා.  ඉතිං ජනාධිපතිගේ ඉදන් අධ්‍යාපන ඇමති, එතකොට විදුහල්පති ගෙදර ඉන්න අම්මා තාත්තා දක්වා බැනුම් කෙලවරක් නැහැ. දරුවා ඇතුල් කරනකන්.  ඒකෙත් ඇතැම් වෙලාවට ළමයා පාසැල් යැවිය යුතු නියමිත කාලයට පාසැලට ඇතුලත් කරන්නට නොහැකි වුනොත් ඉහත කියන විදුහල් වලින් කැදවීමක් එතැයි සිතමින් දරුවා මාස ගණන් ගෙදර තියා ගන්නවා.

එතකොට දරුවා අනෙක් ළමයින්ගේ මට්ටමට ගන්න මොන තරම් වෙහෙසක් දරන්න වෙනවද? අනික් කාරණාව සම වයසේ පාසැල් දරුවන් දකින කොට එයාල ගෙදර ඉදන් මානසිකව පහත් මට්ටමකට වැටෙනවා. අවසානයේ දෙමාපියන් පවා.  වාර දෙකක් විතර පාසැල් ගිය අනික් දරුවන් එක්ක අලුත් දරුවෙක් පංතියේ ඉන්නකොට ඒ දරුවට අනෙක් දරුවන් එක්ක තරග කරන්න අමාරුයි.  ඒ අතරේ පංති භාර ගුරුවරයා නොසැලකිලිමත් අයෙක් නම් දරුවාගේ මුල පටන් ගැන්මේ ඉදලම ලොකු විනාශයක්.

අනෙක් අතට ලොකු දුරක් ගෙවාගෙන පාසැල් යන දරුවන්ට කාලය ගැන ගැටලු ගොඩයි. හොද පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙන්නේ නැහැ. ඔය කඩෙන් ගන්න රෝල්ස්, පැටිස් වගේ කෑම වලට දරුවා හුරු කරනවා. එතකොට ඉතිං ලේසිනේ වැඩේ. ගෙදර ඇවිල්ලත් විවේකය අඩුයි. ඇයි අමතර පංති?? කෝ ඒ දරුවන්ට තමන්ගේ ළමා කාලය ගත කරන්න කාලයක්.  පුංචි දරුවෝ හරියට දෙමාපියන් කියන යන්තරයේ එක් එක් කොටස් වගේ. ඉරිදට අනිවාර්යයෙන්ම දහම් පාසැල්. තව චිත්‍ර පංති, නැටුම් පංති, පීනන්න, අර පංති මේ පංති ගොඩයි.

තව ටික කාලෙකින් ශිෂ්‍යත්වය කියලා ලොකු ගේමක්!!! ඉතිං ඉහලම ලකුණු පස්සේ වැඩි පුරම දුවන්නේ අම්මලා තාත්තලා.  දරුවාගේ තත්වය තේරුම් නොගෙන කෙරෙන මේ සෙල්ලම් වලින් හෙම්බත් වෙන දරුවන් අවසානයේදී මානසික ලෙඩුන් වෙලා තමයි නතර වෙන්නේ.  ටිකක් සෙල්ලම් කරන්න, ගමනක් බිමනක් යන්න, කතන්දර පොතක් , ටී වී එකේ කාටුන් එකක් බලන්න දරුවෝ ආසයි.  ඒත් කෝ වෙලාවක්.

බොහෝ දෙමාපියන් තමන්ට යන්න බැරිවුන ඉලක්ක කරා තම දරුවන් මෙහෙයවනවා.  එයාලට උවමනා කරන්නේ කප් එකක් වගේ දරුවන් ඔසවා තබන්න.    පුංචි දරුවන් මල් වගේ කියන කියමන මම තරයේ විශ්වාස කරනවා.  ලෝක ළමා දිනය කියලා වෙනම දවසක් අවශ්‍ය වෙන්නේ නැහැනේ තමන්ගේ දරුවන්ට අවශ්‍ය කරන දේ ළමා අයිතිය එයාලට ලබා දෙනවා නම්. ඕකට සල්ලි වියදම් කරන්න, අමතර පිරිවැයක් දරන්න ඕන නැහැනේ.  ආදරයෙන් කරුණාවෙන් කියනවා නම් දරුවෝ හදාගන්න එක එතරම් අමාරු නැහැ.  ඔය ලෝක ළමා දිනය වැඩිපුරම සමරන්නේ සල්ලි තියෙන පවුල්වල දරුවන්නේ. අවාසනාව කියන්නේ ඒ දරුවන් ලෝක ළමා දිනය සමරලා විනෝද වෙන්න යනකොට එයාලගේ අඩුපාඩු දාගෙන යන ගමන් මල්ල ගෙනියන්න වෙන්නෙත් ඒ වයසෙම දුප්පත් දරුවෙකුට. ඉතිං මේක විහිළුවක් නෙමෙයිද?? එතකොට ගමේ ඉන්න කෙළි කොල්ලන්ට කෝ මේ ළමා දිනය?????

Saturday, January 9, 2016

2016 සැමට සුබ නව වසරක් වේවා!!!!

හා හා පුරා කියලා 2016 වසරේ මුලින්ම ආවේ ඔන්න අද තමයි.  ඒ තරමට වැඩ. මේ වසර සැමට සුබදායී වසරක් වෙන්න කියලා පතනවා. 

නිදහසේ මොනවත් ලියන්න කියන්න හිතන්න වැඩිපුර ඉඩක් නැහැ.  ඒකට හේතුව අපේ ගේ ගාව සැණකෙළියක් , එහෙම නැත්නම් කානිවල් එකක් තියෙනවා දැන් දවස් ගානක් තිස්සේ. ඉතින් ඒකේ සද්දේ කණ පැළෙන්න තරමට.

අපිත් ඒ පැත්තේ ගියා ඊයේ.  ගියාට මොකෑ ඒ හැටි දෙයක් නැහැ. මාත් ඉතින් හා හා පුරා කියලා ඔය කානිවල් එකක් බලන්න ගියාම තමයි.  ඒ වුනාට ගියාට පස්සේ හිතුනා මේ මොන මගුලක් ද කියලා.  ඇතුල්වීමට රු.100ක් වැඩිහිටියෙකුගෙන්. පොඩි අයට 50ක්.  ඒකත් කමක් නැහැ කියමුකෝ. තියෙන හැම එකකටම රු. 100 ගානේ එක්කෙනෙක් ගෙන් අය කරනවා.  ඉතින් ඒක හැමෝටම එක විදියට දරාගන්න අමාරු ගානක්නේ.  ඒ ගණන සහනදායි එකක් වුනානම් හොදයි කියලා හිතුනා.

 සංගීතයක් තියෙනවා කියපු නිසා ඒක බලන්න හිටියා.  ඒත් කියපු කවුරුවත් 12 වෙනකන් ආවේ නැහැ.  තරුණ ගැටවු , කෙළි පොඩ්ඩන්ට ඇහැ දාගෙන ඉන්නවා හැමතැනම.  ඒත් ඒ හැම කෙනෙක්ගෙම වගේ ඇස් බාගෙට පියවිලා.  අනේ ඉතින් දහදුක් විදලා දරුවන් උස් මහත් කරන්නේ මේකටද කියලා හිතුනා.  බොහෝම තරුණයන් මත්වෙලා හිටියේ.  ඒත් අරක්කු වගේ දෙයක් පානය කරලා කියලා හිතන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. 

තත්වය හැමතැනකම මේ වගේ තමයි.  කොහොම වුනත් අනාගතේදි කෙල්ලෙක්ට කසාදයක් කරගන්න හරිහමන් කොල්ලෙක් ඉතිරි වෙලා හිටියොත් ඇති නේද?.  කෙල්ලෝ ගැන හිතුවත් වැඩිපුර වෙනසක් නැහැ. මොක වුනත් අනාගත පරපුර කොයිබටද? කියලා හිතුනා.

පොඩි බහින්බස් වීමක් ඇහෙන කොටම පොලිස් ඇත්තෝ ඒ තැනට සේන්දු වුනා.  අපිත් හිමින්ම ගෙදර ආවා.  ඕං ඔහොමයි මං බලන්න ගිය කානිවල්!!!!!!

Monday, December 14, 2015

ඇත් පොර

ඔය ඉස්සර කාලේ රටේ රජ්ජුරුවොයි මහා ජනතාවයි බලාගෙන ඉද්දිම වල් ඇතුන් හා හීලෑ ඇතුන් පොරට යවන සිරිතක් මහනුවර රාජධානි කාලයේ පැවතියාලු.  එය විනෝද ක්‍රීඩාවක් විදියටයි හැමෝම සලකලා තියෙන්නේ.  පොරට යවන්න හොද වල් ඇතුන් රැක්ම ලා මහ වනයේ ඉදන් රජ වාසලට ලගින් පිහිටි ඉඩමකට රැගෙන විත්, හීලෑ ඇතුන් එක්ක පොරට යවනවලු.

කොහොම හරි මේ පොරට ගන්නා ඇතා ඇරෙන්න අනෙක් සියලුම ඇතුන් ගාල් කරලාලු තියෙන්නේ.  මේ විදියට ඇත් පොර කිහිපයක්ම සිදු වෙනවා.  මේ ක්‍රීඩාව නරඹන්නත් විශාල ජනතාවක් රැස්වෙනවාලු.  කොටු කරපු විශාල භූමි භාගයක් අවට ඉදන් රජතුමා සමග ජනතාවත් ඇත් පොර නරඹනවා.  හැබෑවටම කියනවානම් මෙය ජනතාව තැතිගන්වන සුළුයි.

මේ විදියට රාජාධි රාජසිංහ රජුගේ කාලයේදී ඇත් පොරයක් සංවිධානය වුනා.  විශාල වල් ඇත්තු එක්ක පොරයට රජුගේ ඇත් ගාලේ හිටපු ඇතෙක් ඉදිරිපත් කලා.  ඉතින් මේ ඇත් රාජයෝ දෙදෙනාම හොඩවැල පටලවා ගනිමින් විවිධ ශබ්ද නගමින්, එකිනෙකාට පහර පිට පහර දෙමින් පොරය ආරම්බ වුනා.  බොහෝ වේලාවක් සටන් කලත් මේ දෙදෙනාගෙන් එකෙක් වත් පැරදුනේ නැහැ.

අන්තිමේදී රජුගේ ඇත් වල් ඇතාට බොහෝම තද පහරක් එල්ල කලා.  එය කොතෙක් සැර පහරක්ද කියනවා නම් වල් ඇතා විසිවෙලා ගිහින් හැටි ගන්න හාරපු වළකට වැටුනා.  මේ දැකපු මහජනතාව ඔල්වරසන් දෙන්න පටන් ගත්තා.

රජ්ජුරුවෝ තමන් ළගම වාඩිවෙලා සිටි ගලගොඩ නිලමේට කථා කරලා මේ දැන් සිදුවුන සිදුවීම ගැන කවියක් කියන්න කියලා කිව්වා.  ඉතින් නිලමේ පැරදුනු ඇතා කියනවා වාගේ ඒ වෙලාවෙම  මේ කවිය කිවුවා.


ඉන්නා විලස ඉන්ටත් මට නොදී           කැලේ
පන්නා ගෙන ඇවිදින් මොන හොදද       කලේ
දන්නා තරම පොර ඇන්නෙමි වඩා ලො     ලේ
ඇන්නෑවේ වැටුණෙමි මැටි ගත්තු ව           ලේ

මේ කවිය ඇසුවාම රජුට ඉමහත් සතුටක් දැනුනා.  ඉතින් රජු නිළමේට තැගී බොහෝමයක් පිරිනැමුවා.

Thursday, October 15, 2015



කාලෙත් එක්ක දැනහැදුනුම් කමුත් වෙනස් වෙනවා

ඉස්සර කාලේ ගමක එක්තරා තරුණයෙක් තරුණියක් එක්ක පෙමින් බැදී සිටියා.  මේ තරුණයා ඇය විවාහ කරගන්නා බවට ස්තිර වශයෙන්ම පොරොන්දුවකුත් දුන්නා.  ඉතින් මේ තරුනියත් , තරුණයාගේ වදන් විශ්වාස කරලා බොහෝම ලෙන්ගතු කමින් කාලය ගත කලා.  බොහෝම ලගින් ආශ්‍රය කලා අවුරුදු ගණනාවක්ම.

කොහොම නමුත් කාලෙත් එක්ක බොහෝ දේවල් වෙනස් වෙනවානේ.  ඉතින් මේ තරුණයාත් අහළ පහල ගමක වෙනත් තරුණයක් විවාහ කරගත්තා.  ඇත්තටම මෙහෙම වුනේ තරුණයාගේ වරදකිනුත් නෙමෙයි.  දෙවැනි තරුණිය වඩා ධනවත් වුනා ඒකයි කාරණාව.  කොහොම කොහොම හරි ප්‍රථම ප්‍රේමයේ වේදනාව කාටත් තදින් දැනෙනවානේ.  කලින් සදහන් කල තරුණිය මේ වෙච්ච දේ ගැන බොහෝම කළකිරීමෙන් තමයි හිටියේ. 

ටිකක් කාලය ගතවුනාට පස්සේ ඇගේ දෙමාපියන් ඇයට වෙනත් විවාහ යෝජනාවක් ගෙනාවා.  අවසානයේදී ඇයට ඊට එකග වන්නට සිදු වුනා.  ඇය දීග ගියේ වෙනත් ගමක තරුණයෙක් සමගයි.  මෙහෙම කාලය ටිකෙන් ටික ගතවුනා. 

එක දවසක් අර කලින් කියපු තරුණයා යම් කිසි උවමනාවකට දුර බැහැරකට ගියා.  එහිදී ඔහුට එන්නට සිදු වුනේ බොහෝම රෑ බෝ වෙලා.  අද කාලේ වගේ නෙමෙයි. මෙහෙමෙ දුර බැහැරක ගිය කෙනෙක්ට නවාතැන් දෙන්න ගම්වල වැසියන් පුරුදු වෙලා හිටියා.  ඒ වගේම ආහාර පාන ටිකකින් සංග්‍රහ කරන්නත් අමතක කලේ නැහැ.  සිංහල මිනිස්සු ආගන්තුක සත්කාරයට බොහෝම ලැදි පිරිසක්නේ.  කොහොම නමුත් රෑ බෝ වෙලා නිසා නවාතැන් ඉන්නා ගෙන එක් ගෙදරකට මේ තරුණයා පැමිණියා.  ඒ වෙලාවේ තමයි දැනගත්තේ මේ ගෙහිමි කාන්තාව තමන් මුලින් පෙම්කල තරුණිය බව. 

ඉතින් තරුණයාට පුදුම හිතුනා.  සතුටක් දැනුනා.  තරුණ කාන්තාවත් ඔහුව අදුන ගත්තා.  නමුත් ඇය කිසිම අමුත්තක් පෙන්නුවේ නැහැ.  එදින ඇගේ ස්වාමියාත් ගෙදර හිටියේ නැහැ.  ඇය හොදින් ආහාර පාන පිළියෙල කර මේ තරුණයාට පිළිගැන්නුවා.  ඔහු ආහාරයෙන් සප්පායම් වනතුරු සතුටු සාමිචි කතා බහේ යෙදිලා හිටියා.  ඉන්පසු, දොර පිළේ කොට්ට පැදුරු එළා ඔහුට නිදා ගන්නට සැලැස්සුවා.  ඇය ගෙට ගොස් දොර වසා ගත්තා.

පරණ පෙම්වතියගේ මේ ක්‍රියා කලාපය නිසා තරුණයාට බොහෝම හිත් වේදනාවක් ඇතිවුනා.  ඇයව ඔහුට තේරුම් ගන්නට නොහැකි වුනා.  බොහෝම වේලාවක් මේ ගැන කනස්සල්ලෙන් හිටපු තරුණයා මේ විදියට නෝක්කාඩු කවියක් කිවුවා.

ආදි අපි දෙන්නා දිය පිට මලක්                 වගේ
දැන්දි අපි දෙන්න දිවි දුටු මුවන්                වගේ
ගොඩ නුපුරුදු දිය නුපුරුදු සතුන්               වගේ
උඹලගේ සෙනේ හුණු නැති බුලත් විට      වගේ

මේ කවිය ඇහුණ තරුණ කාන්තාව ගේ ඇතුලේම ඉදන් මෙහෙම කිවුවා.

ආදි අපි දෙන්නම තමු                  න්නේ
දැන්දි අපි දෙන්නම අනු               න්නේ
නොදැන නෙමෙයි පිළ පිට පැදුර  දුන්නේ
යතුර දෙන්ට මේ ගේ දොර අනු    න්නේ

Thursday, September 10, 2015

ආමි සමිදුන් දකිනු පිණිසා



ඉස්සර කාලේ දවසක කෑමට වඩා බොන්න හිතැති මිනිසෙක්  දු ර බැහැර ගෙවාගෙන මුදලිතුමෙක් දකින්න ආවා.  වලව්වට ගොඩවුනාට මොකද කිසිම කෙනෙක් පේනතෙක් මානයක හිටියේ නැහැ.

ඉතිං මේ උන්දෑ කවුරුත් නැති හින්දාම ඉස්තෝප්පුවේ තියෙන පත කුළුණකට හේත්තුවක් දාගෙන යන එන මග දිහා බලාගෙන උන්නාලු.

මේ මනුස්සයා නොදැක්කාට මොකද මුදලි තුමා ඒ ළගම තියෙන කාමරයෙයි ඉදලා තියෙන්නේ.  එතුමා කාමරය ඇතුලේ ලියකියවිලි වගයක් සෝදිසි කරමින් තමයි උන්නේ.  හැබැයි එතුමාත් දුටුවේ නැහැ ඉස්තෝප්පුවේ පිටස්තරයෙක් ඉන්නා වග.

මේ මුදලිතුමා බොහෝම ප්‍රීතියෙන් ඉන්න කැමති කෙනෙක්. ඉතිං එතුමා කරමින් හටපු වැඩේ ඉවර කරලා අත පය හිරි අරින ගමන් මෙහෙම කිවුවා

කන දෑ අදින                  දෑ
ගම්බද මිනිසා බොහෝම මුඛරි පුද්ගලයෙක් . ඒ නිසා මේ කවි පදය ඇහුන හැටියෙම
 බොන දෑ විතර හොද     දෑ
දෙවන පදය කිවුවා.                                
කවුද ඒ                         උන්දෑ   යි කියාගෙන මුදලි තුමා නැගිට්ටා.
මුදලි තුමා එළියට එන්නටත් පෙරම ආගන්තුක මිනිසා හතර වන පදය මෙසේ කිවුවා

මොකද හිරයක් දෙන්ට    වත් දෑ

ඉන් පස්සේ මේ දෙදෙනාගේ කතාව ගෙවුනේ කවියෙන්ම තමයිලු.
මුදලි :   තෝ කොයිබ මිනි                සා
අමුත්තා:  නායිමන නම්                 පියසා
මුදලි     : ආවේ මක්                      නිසා
අමුත්තා:  ආ මි සමිදුන් දකින       පිණිසා

ඉතින් බොහෝම සතුටට පත් වුන මුදලි තුමා මේ පිටස්තර මිනිසාට බතින් බුලතින් සංග්‍රහ කොට ඔහුගේ උවමනාවත් ඉටු කර දී යන්නට හැරියාලු.