Friday, September 7, 2012

ක්ලියෝපැට්රාගේ ඉදිකටුව


අප රටේත් ලෝකය පුරාමත් මිනිසත් බව ලබා කලක් හොදින් හෝ නරකින් ජීවත්ව මියගියවුන් අතර තමන්ගේ නම නොමියෙන අයුරින් රැන්දූ අය අතුරෙන් කෙනෙකි ක්ලියෝපැට්රා රැජින. ඇය ක්‍රි.පූ. පනස් එක් වැනි වසෙහි මියගිය දහතුන් වැනි ටොලමි රජුගේ සූරූපි දියණියයි.  ලෝක ශිෂ්ටාචාරයත් මානව සංවර්ධනයත් අතින් ප්‍රමුඛ තැනක් හිමිකරගත් මිසර ජාතික මහා රජ කෙනෙකුගේ ඉතාමත් සුරූපී දියණියයි. 

මහා රාජිනියක් සේම රජවරු දෙදෙනෙකුගේම බිසවක් ලෙසත් ඇය ප්‍රකටය.  මුළු ලොව පුරාම ඇගේ ජීවිතය අලලා තොරතුරු රැසක් කතා රැසක් ගෙතී ඇති අතර අය නමින් චිත්‍රපට පවා බිහිවිය.  ඇගේ ජීවියතය වගේම පුදුම සහගත කතාවක් ඇගේ ඉදිකටුව ගැනත් කියවේ. මම මෙහෙම ඉදිකටුවක් කිවුවට මොකද ඒක ඉදිකටුවක් නෙවෙයි කුළුණක්.

ක්‍රි.පූ. 1450දී විතර මිසරයේ රජකලා තෝමස් නම් රජ කෙනෙක්.  මේ රජතුමාගේ අණ පරිදි  හෙලියෝපොලිස් නම් නගරයෙන් සැතපුම් 700ක් විතර දුරින් පිහිටි සෙයින් නම් ස්ථානයෙන් තමයි ඉහත සදහන් කල යෝධ කුළුණ ගෙනාවේ.   දිග අඩි 68 ½ක් විතර වුන මේ කුණන හදලා තිබුණේ මදක් රතු පැහැයට හුරු ගල් පර්වතයක් උපයෝගී කරගෙනයි.  මේ කුළුණේ අග උල්ව පිහිටන සේ නෙලා තිබුණ නිසා තමයි මේකට ඉදිකටුව කියලා නම් කලේ.

ටොන් දෙසීයක් විතර බර මේ ගල ඒ කාලයේ හිටපු දහස් ගණනක් වහල් මෙහෙකරුවන්ගේ ශ්‍රමයෙන් නයිල් ගග දිගෙ තමයි අරගෙන ඇවිත් තියෙන්නේ.  ඇත්තම කිවුවොත් පැරණි මිසර ඉංජිනේරුවන්ගේ විශ්මය ජනක දක්ෂකම මොනවට පැහැදිලි වෙනවා මේ තරම් බර ගලක් නොකැඩී සැතපුම් සිය ගානක් දුර ගෙවාගෙන ගෙනැවිත් කෙළින් කර සිටවිමම. 

ශතවර්ෂ 15කට විතර පස්සේ මේ කුළුණ “ඕගස්ටන් නම් රෝම අධිරාජයාගේ නියෝගයකට අනුව ඇලෙක්සැන්ඩ්රියා නගරයට ගෙනාවා.  ඔහුගේ මාලිගයට ආසන්නව අලංකාරය සදහා පිහිටවූ මේ කුළුණට එදා ඉදලා තමයි ක්ලියෝපැට්රාගේ ඉදිකටුව කියලා නම වැටුනේ.  ඉස්සර කාලේ මිසර ජාතිකයෝ තමන්ගේ ආදරණීය රැජින සිහිවෙන්නට මේ නම භාවිතා කරන්නය ඇති කියලා තමයි කවුරුත් හිතන්නේ.

මුහුද ගොඩගැලීම නිසා කාලයක් තිස්සේ ඇලවෙමින් තිබුණ මේ ඉදිකටුව පස්සේ කාලෙක බිම ඇද වැටුණා.  මේ විදියට කාලය ගතවෙනකොට තමයි හතරවෙනි ජෝර්ජ් රජ්ජුරුවෝ  එංගලන්තයේ රජවුනේ.  ඒ වෙනකොට මිසරයේ පාලකයා විදියට හිටියේ මොහොමඩ් අලි .  ඔහු ජෝරජ් රජ්ජුරුවන්ගේ මෞලි මංගල්‍යයට තෑග්ගක් විදියට මේ ක්ලියෝපැට්රාගේ ඉදිකටුව පිරිනැමුවා.  නමුත් ජෝර්ජ් රජතුමා මේ තෑග්ග පිළිගන්න කැමති වුනේ නැහැ.  ඉන්පස්සේ රජ වුන හතරවෙනි විලියම් රජුත් එය ප්‍රතික්ෂේප කරලා.  මේ අතරේ තමයි එංගලන්තයේ වැසියන් අතර මේ ගැන බොහෝම කුතුහලයක් ඇතිවුනා.  ඒ නිසාම ඔවුන් එය තමන්ගේ රටට ගෙන්වා ගැනීමට උත්සාහ ගත්තා.  ඒ වුනත් මේ කුළුණ එහෙමත් නැත්නම් ඉදිකටුව ගෙන්වීමට යන අධික වියදම නිසා ඒ අදහස ගැන තවපාරක් හිතන්නට සිදු වුනා.   

ඔන්න 1867 වර්ෂය වෙනකොට නම් මේ අපූරු ඉදිකටුව වැල්ලෙන් වැහිලා ගිහිනුයි තිබුණේ.  1875 දී ඉරැස්මස්  විල්සන් කියන මහාචාර්යවරයා මේ කුළුණ එංගලන්තයට ගෙන එන්නට යන වියදම දරන්නට ඉදිරිපත්වුනා.  1877 දී විල්සන් මහතා සර් ඇබර්ක්‍රොම්බි  කියන ගෘහ නිර්මාණ ශිල්පියා එක්ක එකතු වෙලා මේ වැල්ලෙන් වැසී ඇති ඉදිකටුව ගොඩගන්නට කටයුතු කලා.  අවුරුදු ගානක්ම මේ විදියට වැල්ලෙන් වැහිලා තිබුණ කුළුණ මුහුද හරහා එංගලන්තයට ගෙනයන්නේ කෙසේද කියලා සිතන්නත් සිදුවුනා.  මොකද දැන් වගේ ඒ කාලේ නවීන යන්ත්‍ර සූත්‍ර තිබිලා නැහැනේ.  ඉතින් කොහොම හරි මේ ඉදිකටුව දුම් නැවක ආධාරයෙන් ගෙනයන්නට කටයුතු සූදානම් කලා.  ඒත් අවාසනාවක මහත කියන්නේ අදාල දුම් නැව කුණාටුවකට අහුවෙලා ඉදිකටුව නැවතත් මුහුද මැද්දේ අතරමං වුනා.
මේ විදියට ඉතින් කාලයක් ගතවුනා.  ඔය අතරේ මහ මුහුදේ අරුම පුදුම වස්තුවක් පාවෙනවා දුටු එක් දුම් නැවක නැවියෙක් මේ ගැන එංගලන්තයට දැනුම් දුන්නා.  1878 ජනවාරි දෙවැනිදා යළිත් දුම් නැවක ආධාරයෙන් මේ ඉදිකටුව තේම්ස් නදිය දිගේ අරගෙන ආවා.  “තේම්ස් එම්බැන්ක්මන්ට්..කියන ස්ථානයේ 1878 සැප්තැම්බර් 12 වෙනිදා මේ යළිත් නගා සිටවූවා.

මේ අපූරු ඉදිකටුව පාමුල අලංකාර වෙන්න කියලා යෝධ නරසිංහ රූප දෙකක් ඉදි කරලා තියෙනවා.  මෙය තඹ වලින් සාදන ලද විශාලතම වස්තුවක් ලෙස සැලකෙනවා.  ඒ වකවානුවේ මිනිස් අතකින් කැපිලා, කෙටිලා, නෙලලා තිබූ විශාලතම ශෛලමය කුළුණ හැටියටත් ක්ලියෝපැට්රාගේ ඉදි කටුව ප්‍රසිද්ධලු. 

ශත වර්ෂ ගණනාවකට පෙර මිසර ජාතිකයන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍රවූ මේ මහාර්ඝ වස්තුව හිරු නොබසින අධිරාජ්‍යය ලෙස සැලකුන එංගලන්තයේ තේම්ස් එම්බෑන්ක්මන්ට් නම් ස්ථානයේ දිස්වේ. මේ පුදුම ඉදිකටුව ගැන මත කිහිපයක් ඇති බවත් දැනගන්නට ඇත.  අන්තර්ජාලයේ සැරිසරද්දී තැන් කිහිපයක ඇති ක්ලියෝපැට්රාගේ කුළුණ ගැන සදහන් වෙනවා. 

(පැරණි ලිපියක් ඇසුරිනි)

1 comment:

  1. මෙතන එක වගේ කුළුණු කීයක් තියෙනවාද ?

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!