අපේ හිතේ ඇතිවෙන ප්‍රසන්න ඒවගේම ඉතාමත් මිහිර දනවන සිතුවිල්ලක්නේ ආදරය කියන්නේ. ඒක බොහෝම ශ්‍රේෂඨ හැගීමක්නේ. කිසිම කෙනෙකුට අමතක නොවන ආදරය එකිනෙකාගේ හදවත් තුල ලැගුම් ගන්නේ විවිධාකාරයෙන්.
අම්මෙක් තමන්ගේ දරුවන්ට දක්වන ආදරය, සහෝදරයෙක් සහෝදරියක්ට දක්වන ආදරය, ගුරුවරයා ගෝලයාට දක්වන ආදරය, යාළුවෙක් තමන්ගේ යාළුවන්ට දක්වන ආදරය, මේ වගේ විවිධ අවස්ථා ආදරය සම්බන්ධයෙන් අපට දක්වන්න පුළුවන්. ඒ වුනත් මේ සියල්ලටම වඩා තරුණයෙක් තරුණියකට දක්වන ආදරය වෙනස් වෙනවා. මේ විදියට ආදරයට නිර්වචනයක් දෙනකොට එය ඉතාමත්ම සංකීර්ණ දෙයක් බව පැහැදිලි වෙනවා.
යොවුන් විය ගෙවන අපේ තරුණ තරුණියන් බොහෝ විට මේ ආදරයට විවිධ අර්ථ කතන දෙන ගමන් එය අයතා විදියට භාවිතා කරන ආකාරයක් අපට පේනවනේ. (වැරදි නම් මාව නිවැරිදි කරන්න). බස් රථයකදී. දුම්රියේදී. බස් නැවතුමක් එහෙමත් නැත්නම් වෙළද සැලකදී ( මං හිතන්නේ වෙළද සැලකදී දක්වන ආදරය නම් වෙනස්ම මුහුණුවරක් ගන්නවා) සිනමා ශාලාවක්, වගේ නොයෙක් ස්ථානවලදී තනිකම, කාන්සිය මගහරවා ගන්නට ආදරය කරනවා. හැබැයි බොහෝ විට අතන මෙතන මුළුගැන්විලා කරන ආදරය තාවකාලිකයි.
ආදරය කියන වචනයේ තේරුම වත් නොදැන හරියට කඩේකින් බඩුවක් මිලදී ගන්නවා වගේ ඇතැම් අය කටයුතු කරනවා අපි අනන්තවත් දකිනවා. ඒවායේ කිසිම හරයක් ස්ථිර බවක් ඇත්තේ නැහැනේ. මම මේ ලිපිය ලියන්නත් මූලික හේතුවක් වුනේ මට අත්විදින්න වුන සිද්ධියක් නිසා.
ස්වභාවධර්මයෙන් අපට ලැබෙන දායාදයක් බදු ආදරය අපේ යහපතට හරවා ගන්නවා වෙනුවට එයින් නොමග යාමට තරම් මෝඩ වෙනවා නම් එය තරුණ කමට විතරක් නෙමෙයි මිනිස් කමටත් කරන නිගාවක් නේද? දැන් කාලයේ නම් බොහෝ දෙනෙක් අතර ජංගම දුරකතන තියෙනවානේ. ඉතිං බැරිවෙලාවත් මෙහෙම එකකින් වැරදිමක් වෙලා වැරදි නොම්මරයක් එබිලා කෝල් එකක් ආවා කියමුකෝ. එහා පැත්තෙන් ඇහෙන්නේ නාදුනන කටහඩක් වුනාට මිහිරිය. ඉතිං ආගිය තැන්, කවුද , කොහේද ඉන්නේ මේ වගේ නොයෙක් දේ හැදුනුම්කම් නැතත් දැනගන්නවා. ඉතිං දවස් දෙක තුනකින් ආදරෙත් ප්‍රකාශ කරලා ඉවරයි. හැබැයි කෙනාව කිසිම දවසක ඇහැට දැකලත් නැහැ. ඉන්නෙත් බොහෝම දුර බැහැර.
ඔන්න ඉතිං රෑ එළිවෙනකන් නොයෙක් දේ ගැන තමන් කැමති දේ, එයා කැමති දේ, බැදලා මොනවද කරන්නේ, කොහෙද ඉන්නේ ඔය ආදී වශයෙන් කතා කරලා අවසානයේදී දකින්නත් දින නියම කරගන්නවා. සමහර ගැහැණු ළමයින් මේ වගේ වෙලාවදි කතා කලේ දින දෙකක්/ තුනක් එහෙමත් නැත්නම් සතියක් වුනාට තමන්ගේ හදාගත් දෙමාපියන්වත් දාලා අර නාදුනන කෙනා එක්ක යන්න තරමට දුරදිග ගිහින්. දෙන්නා තැපැල් මාර්ගයෙන් තමන්ගේ පොටෝ එහෙමත් මාරු කරගන්නවා. කෙල්ලත් ලස්සනයි. කොල්ලගේ හිතට සැටිස්.
දැන් ඉතිං ඔන්න කොල්ලා දුර කතර ගෙවාගෙන කෙල්ල බලන්න යනවා. එයා හුගාක් ලස්සනයි. හැබැයි අඩුවක් තියෙනවා. දන්නවද මොකද්ද කියලා. ලස්සන උනාට හුගාක් මහතයි. එහෙම නැත්නම් නහය ඇදයි, කකුලක් කොටයි, නැත්නම් ඇග හැඩ මදි, ඔය වගේ නානාප්‍රකාර හේතු. ඔන්න දැං අර ආදරේ හොදාපාලුවට ලක්වෙලා කොල්ලට කෙල්ල එතනින් එපා වෙලා ආදරේ ලත් තැන ලොප් වෙනවා.
කොල්ලා ගෙදර එන ගමන් ප්ලෑන් කරනවා මේ මලකරදරෙන් ගැලවෙන විදියක්. එයා තමන් දන්න කෙනෙක් ලව්වා අර ලමයට කියවනවා ඒ තමුන්ගේ කෙල්ල කියලා. අර ගොං කෙල්ලත් හොටු හූර හූර අඩනවා. තමන් කරගෙන යන වැඩත් අතපසු කරලා. කවදාවත් බදින්නේ නැහැ කියලා හිතනවා. මේ වගේ නොයෙක් දේවල්. ටිකක් හිතනා බලන්න. මෙතැන ඇත්තටම ඇතිවුන ආදරයක්ද කියලා තියෙන්නේ. (මේක ඇත්තම සිද්ධියක්)
ඉන්පස්සේ දුරකතන ඇමතුම් / එස්.එම්.එස්. මොනවත් නෑ. ආදරේට සොරි වෙලා. හිතන්නකො තමන්ගේ අතේ තියෙන සල්ලිත් රුපියල් දෙතුන් දාහක් විදයම් කරගෙන කතා කරලා. රෑ නිදිමරාගෙන ඉදලා. අපරාදේ නේද?
ඔන්න ගෙදරක අත්‍යවශ්‍ය දෙයකට කෙනෙක් යනවා ඒ ගෙදරට. කලින් ඒ ගෙදර අම්මා හෝ තාත්තා තමන්ගේ දුව ගැන විවාහ යෝජනාවක් ගෙනැල්ලා පොටෝ එකක් පෙන්නනවා අදාල කෙනාට. එයා පිළිතුරක් දෙන්නේ නැහැ. පස්සේ දෙමාපියන් ප්ලෑන් කරලා ගෙදර අවශ්‍යතාවයක් මේ කෙනා ලවා ඉටුකරගන්න මුවාවෙන් එයාව ගෙදරට ගෙන්නනවා. කොල්ලා කෙල්ල දැක්ක ගමන් හොල්මන් වෙනවා. මොකද පොටෝ එකේ දැකපු කෙනාට වඩා ගෙදර ඉන්න කෙනා හාත්පසින්ම වෙනස්. ගෙදර ඉන්න කෙල්ල බොහෝම ලස්සන කෙනෙක්. කොල්ලා ජීවිතේට එහෙම ලස්සන කෙල්ලක් දැකලා නැහැ. ඇය එතරම්ම ලස්සනයි. කොල්ලාගේ හිත කෙල්ලගේ රූපෙන් මත්වෙනවා. ආකර්ෂනයට පත් වෙනවා. හැබැයි කොල්ලා කෙල්ලගේ කතාබහට කැමති නැහැ. ඇය කතාකරන්නේ ටිකක් වේගවත්ව. ඒ විතරක් නෙමෙයි කතා කරන කොට ටිකක් මෝඩ පෙනුමක් එනවා. ශීලාචාරකම ටිකක් විතර අඩුයි වගේ. හැබැයි ඔහු වසග වෙලා. හිතත් අවුල් වෙලා. කෙල්ලගේ ගෙදරිනුත් හොදටම කැමතියි. කෙල්ලගේ දෙමාපියන් කියනවා මෙයා ගිය ගිය තැන ලෙඩ දාගන්නවා. කොල්ලෝ පස්සෙන් එනවා. හරිම කරදරයි. විවාහ යෝජනා කෙලවරක් නැහැ කියාල. ???නේද. එක විදියකට බලනකොට දෙමාපියන්ට පුළුවන්නේ ඒ හොද යෝජනාවකට කැමති වෙන්න. හිතලා බලන්න.
කොල්ලා ආදරය කරන කෙනෙක් ඉන්නවා. එයා මේ සිද්ධිය ඇයටත් කියනවා. ඇගේ හිතත් අවුල් වෙනවා. ටිකක් කලකිරෙනවා. හැබැයි කොල්ලා පෙම්වතියට අවංකවම ආදරෙයිලු. (මේකත් සත්‍ය සිද්ධියක් හොදේ).
ඒ විතරක් නෙමෙයි සැනෙකින් වෙනස්වීමක් අදුනාගන්න තරමට දෙන්නට දෙන්නා තේරුම් අරන් ඉන්නවා. ඒත් මේ වෙච්ච සිදුවීම ??? අර දැකපු කෙනා ගැන ඇත්තටම ඔහුට ඇතිවෙන්න ඇත්තේ ලෝභ කමක් නේද? ටික දවසකින් ඔහු ඇයව අතහරියි. වෙන්නේ ඒක නෙමෙයිද?
මේ වගේ සිද්ධි අපේ සමාජයේ ඕනෑතරම් තියෙනවානේ. විවාහ වෙලා මාසයයි දෙකයි හොදින් ඉන්නේ. ඉන්පස්සේ අර මුලින් දැකපු දේවල් මොනවත් නැහැ. දෙදෙනාටම එපා වෙනවා. ඇතැම් අය ආදරය කරන්නේ ලිංගික ආශ්වාදයක් බලාපොරොත්තුවෙනුයි. එයින් තමන් බලාපොරොත්තු වන සතුට ලැබෙනවා නම් ඒත් බදින්න තීරණය කරනවා. පහුවෙන කොට වෙනත් අඩුපාඩු දැකලා අර වගේම එපා වෙනවා. ගමනට බිමනට, කතා බහට, රූපයට, වත්පොහොසත්කම්, වලට යානවාහන වලට රැවටෙන අය සමාජයේ අනන්තයි. ඒත් මේවා තාවකාලික බව තේරුම් ගන්නේ කීයෙන් කී දෙනාද? මේ දේවල් නැති වෙනකොට ආදරෙත් පෑල දොරින් පිට වෙලා යනවා.
හොද ආදරවන්තයෙක් ආදරවන්තියක් නම් තමන්ගේ සහායකයාට හෝ සහායිකාවට හොදින් ඇහුන්කන් දෙන්නෙක් විය යුතුයි. ඒක අත්‍යාවශම අංගයක්. අවබෝධය ඉතාමත්ම වැදගත් දෙයක්.
විවාහ ජීවිතයේදී ලිංගික ජීවිතයට හිමිවන්නේ මුල් තැනක්. නමුත් ආදරය කලයුත්තේ ලිංගික ජිවිතයටම නොවන බව අපි වටහා ගන්න ඕන. සමාජය නැමති සංස්ථාවේ මිනිසා එකිනෙකා අතර අවංකව බැද තැබීමේ ස්ථිරතම ප්‍රසන්න වූ බැම්මක්නේ ආදරය. ඒක අපට ස්වභාවධර්මයෙන්ම ලැබුනු දායාදයක්. එය ඉතා සුළු දේවල් නිසා බිද දැමීම ඒ ශ්‍රේෂ්ඨ බැම්ම කඩාදැමීමක් නේද?
අනෙක් කරුණ තමයි ආදරයේ නියම ස්වරූපය තේරුම් නොගන්නා අය විසින් ඉදිරිපත් කරන මතයක්නේ දෑවැද්ද කියන්නේ. ඒ අය පිළිගන්නේ දෑවැද්ද අත්‍යාවශ්‍ය අංගයක් කියලයි.
විවාහයක් සාර්ථක වෙන්න නම් දෙදෙනෙක් හදුනාගත් මොහොතේ ඉදන් ඒ ආදරය අව්‍යාජ වෙන්න ඕන. ඒ ආදරය වෙනත් සුළි කුණාටු වලින් දෙදරා යනවා වගෙයි නම් ඒක හැබෑම ආදරයක් නොවෙන්නත් පුළුවන්. මේ ගැන හොදින් හිතා බලන්න. ඔබත් ආදරවන්තයෙක් ආදරවන්තියක් විය හැකියි. හැබෑ ආදරයක් මේ කිසිම බලවේගයකට වෙනස් කල නොහැකියි.
දෑවැද්ද බලාපොරොත්තුවෙන් විවාහ වීමේදී අපේක්ෂා කරන ආර්ථික වාසි නොලැබෙන විට ආදරයත් කෙමෙන් දුරස් වෙනවා. කෙසේ වෙතත් ආදරයම පදනම් කරගත් විවාහයක් දිවි ඇතිතෙක් සුරැකී පවතිනවා.
ආගම්, ජාති භේද, කුල බේද, වගේ දේවල් අභිබවා යාමට තරම් මහා බලයක් ආදරය සතුව තියෙනවා. මේ අසීමිත බලවේගය නොමග නොයවා නිසි මග යොමු කිරීමෙන් ඕනෑම පුද්ගලයෙකුට ජය ගන්නට පුළුවන්. ආදරය කරමින් සිටින ඇතැම් අය හිදිසියේම සිය දිවි හානි කරගන්නවා. ඇතැම් අය ආදරය තුලින් ජිවිතය හැඩගසා ගන්නවා.
අව්‍යාජ ආදරයෙන් බැදුනු හදවතකට තවත් හදවතක් කවදාවත් අමතක කල නොහැකියි. ඒ වගේම ව්‍යාජ ආදරය තාවකාලිකයි. ඒ නිසා ආවාට ගියාට හදිසියේ කාන්සිය මගහරවා ගන්නට, පාළුයි කියලා හිතලා කරන ආදරයෙන් තමන් ප්‍රවේසම් විය යුතුයි. මේ වගේ වෙලාවට බුද්ධියෙන් කටයුතු කල යුතුයි. හැගීම් වලට ඉඩ නොදී.
ජීවිතයේ සුරක්ෂිත භාවය මෙන්ම සදා සතුට සදහා අව්‍යාජ මෙන්ම නිර්මල සුන්දර ආදරය නුවනින් තම හදවත් තුල ලැගුම් ගැන්වීමට ඔබත් වග බලා ගන්න.