Friday, February 28, 2014

පුදුමයි නේද!!!


දැන් ටික කාලෙක ඉදලා අපේ රූපවාහිනී නාලිකාවල එක දිගටම වගේ විදේශීය කතා පෙලක් විකාශනය වෙමින් පවතිනවනේ.  මේ අතරින් කොරියන් කතාවලට විශේෂ අවදානයක් තිබෙන බවත් පෙනී යනවා.  ඇත්තමයි ඒ කතා ලස්සනයි තමයි.  මෙව්වා බලාගෙන බලාගෙන යන අතරේ මට මේ ලිපිය පොතක තිබිලා කියවන්න ලැබුනා. ඉතින් ඒක කාටත් දැනගන්නත් එක්ක ලියන්න හිතුවා.

කොරියාවේ කියමි කියන ගංගාවේ තියෙනවලු  නක්වහම් කියලා පර්වතයක්.  මේ පර්වතයේ හැම අවුරුද්දකම විශේෂ සිදුවීමක් සිදුවෙනවා.

ක්‍රි.ව. 600 දි විතර චීන ජාතිකයෝ කොරියානු රාජ්‍යය ආක්‍රමණය කලාලු.  පසුව පාක්ජේ කියන කොරියානු රජතුමන් ඇතුළු ඔහුගේ පුතුන් වගේම ඇමතිවරුත් අල්ලාගෙන සිරකරුවන් විදියට චීන දේශයට ගෙනිහින් තියෙනවා.  මේ හේතුව නිසා දුකට පත්වුන රජමෙහෙසියන් 71 දෙනා ඉහත සදහන් කල නක්වහම් කියන පර්වතයෙන් කියුම් ගංගාවට පැනලා දිවි නහගෙන.

ඉතින් ඉන්පස්සේ වසරක් පාසා අද වනතුරුත් වසන්ත කාලයේදී මේ පර්වතය මුදුනේ හරියටම මල් 71ක් පිපෙන බව සදහන් වෙනවා.  ඒ විදියට පිපෙන මල් සියල්ල මුළු දවස තිස්සෙම සුවද විහිදුවමින් තිබිලා එදිනම පරවෙලා ගගට වැටෙනවාලු!!!

Wednesday, December 25, 2013

තවත් නත්තලක්


හැමදෙනාටම සුභ නත්තලක් වේවා!!

කාලෙකින් මොනවත් ලියන්න බැරිවුනා. අම්මා නැතිවෙලා ගෙවීගෙන යන පළමු නත්තල් දිනය.  පාලුවකුත් එක්ක දැනෙන්නේ හරිම දුකක්.  ඒත් ඉතිං ජිවිතේ කියන්නේ මේකටනේ.

පුංචි කෙල්ල දැන් දින ගණනාවක ඉදන් නත්තල් සීයාට ලියුම් ලියනවා එයාට ඕන කරන තෑගි ගැන කියලා.  ඔන්න මොකද්ද මන්දා අතේ ඇලවෙන බෝලයක් ගැන කියනවා.  ඒකත් බොහෝම අමාරුවෙන් අහගත්තේ.  එයාට පුංචි සැකයකුත් තියෙනවා අම්මයි තාත්තයි තමයි මේ නත්තල් සීයා වෙලා තෑගි ගෙනත් දෙන්නේ කියලා.  ඒත් දැන්ම ඇත්ත කියන්න හොද නැහැනේ.  එතකොට කිසිම විශේෂයක් නැතිව මේ දවස ගෙවිලා යාවි.  හරියට අපි පුංචි කාලේ වගේ.

ඉස්සර මමත් ඔහොම තෑගි ගැන හිතේ තියාගෙන නිදා ගන්නවා.  උදේට ලැබෙන තෑගි බලන්න.  අනේ ඉතිං මටනම් ලැබුන ල... නැහැ.  ඒත් පුංචි කෙල්ලගේ හිත රිද්දන්න හොද නැහැනේ.  කැලේ කොල අතු හොයාගෙන ඇවිත් ඊයේ හවස නත්තල් ගහක් ලස්සනට හදලා සරසලා බල්බ් එහෙම දාලා දුන්නා.

අද උදේ පාන්දරින්ම නැගිටලා එයාට ලැබුන තැගි දැකලා මූනේ සතුට උතුරනවා.  එයාගේ පුංචි මූණෙ තිබුණ සතුට දැක්කම අපිටත් හරිම සතුටුයි.  මොනවා වුනත් කෙල්ල නත්තල්  සීයාට ලියපු ලියුමේ ගෙදර වැඩිහිටි අය ගැනත් මතක් කරලා තිබුණ නිසා අපිටත් ඉතිං ඔය මොන මොනවා හරි ලැබුනා.  ඒත් කෙල්ලගේ ඇලවෙන බෝලෙ නම් ලැබුනේ නැහැ.  කෙල්ල නොදන්නවා වුනාට අපි දන්නේ අතේ ඇලවෙන බෝල ගැන නෙමෙයි අතේ නැලවෙන බෝල ගැනනේ.    බෝලෙ වෙනුවට එයාට බයිසිකල් රේස් පදින්නෙක් ලැබුනා.  ඒකත් නියමයි. 

අතේ සල්ලි ඇත්නම් හැමදාම නත්තල් තමයි!!!!