කාන්තා දිනය නිමිත්තෙන් කාගෙනුත් පොදු අදහසක් ගන්න හිතාගෙන මේ ලිපිය ලියන්න හිතුවා. ආදි කාලයේ ඉදලම ලෝකයේ සුන්දරතම වස්තුව ගැන ඇහුවොත් බොහෝ දෙනෙකුගේ පිළිතුර වන්නේ ගැහැණිය කියලා. හැබෑවටම කාන්තාව කියන්නේ අපූර්වතම නිර්මාණයක් තමයි. ඔය එක එක ඉරිසියාකාරයෝ මොන මොන දේ කිවුවත්, නැද්ද මං අහන්නේ?
ආදි කාලයේ අමාවතුර කර්තෘ, වගේ පඩිවරුන් කාන්තාවන්ගේ සුන්දරත්වය මනාව වර්ණනා කලා. බොහෝ දේ කතා කලා. අදත් කාන්තාව ගැන බොහෝ දේ කතා කරනවා. හෙටත් ඒ වගේමයි.
දෙවියන් වහන්සේ මිනිසා මැවුවාලු. ඉන්පස්සේ ඔහුගේ පාළුව හා තනිකම මැකීම සදහා කාන්තාව මැවුවාලු. ඉතින් මේ කාන්තාව මිනිසාට කරදරයක් වුනා. ඒ නිසා නැවතත් දෙවියන් වහන්සේ කාන්තාව තමා බාරයට ගත්තා. නමුත් මිනිසාට නැවතත් කාන්තාවගේ අවශ්‍යතාවය දැනුනා. දෙවියන් නැවතත් කාන්තාව මිනිසාට බාර කලා. මෙසේ කිහිපවිටක්ම වුනා. කෙසේ හෝ කාන්තාව මිනිසාට ඇතුවත් බැරි නැතුවත් බැරි තත්වයකට පත්වුනා.
හැබෑවටම අපි කවුරුත් දන්නා කරුණක් තමයි. ලෝකයේ පැවැත්ම රදා පවතින්නේ කාන්තාව මත බව. ඇත්තටම බැලුවොත් කාන්තාව නැති තැන කිසිම සුන්දරත්වයක් නැති තරම්. ලෝකයක් තියෙනවාද කියලා හිතාගන්නවත් බැරි තරම්. ඕනෑම කවියෙකුගේ, ලේඛකයෙකුගේ, සිත්තරකුගේ සුන්දරම වස්තුව කාන්තාවයි. කාන්තාවගේ සෑම අංගයක්ම එක් එක් දෙයට උපමා කිරිම අනාදිමත් කාලයක සිට සිදුවන්නක්. අඩ සදවන් නළල, මුව කමල, රණ තිසර පියයුරු, රිය සක වන් උකුළ, නා දළු දෙතොල්, මේ විදියට නොයෙක් ආකාරයෙන් කාන්තාවගේ හැම අංගෝපාංගයක්ම වර්ණනාවට ලක්වෙනවා.
ලස්සන කාන්තාවක් දැක්කම කවුරුත් ඇය ගේ රූපය විදිනවා. වර්ණනා කරනවා. රජවරු, සිටුවරු පවා කිසිම වෙනසක් නැතිව කාන්තාවගේ රූපය නිසා අසීමිත සතුටක් විදිනවා. ඒ වගේම දුකක් වුනත් දරා ගන්නවා. ඒකට ඉතිං හොදම උදාහරණයක් නේ කුස රජුගේ චරිතය. ඕනෑම කෙනෙක් කාන්තාව ඉදිරියේ දණ නමනවා. තමන් වර්තමාණයේ කොතරම්ම උසස් තලයක වැජඹුනත් අමතක නොකල යුතු පළමු කාරණය තමයි තමන් එතැනට ආවේ කාන්තාවකගේ සුළගිල්ලේ එල්ලීගෙන බව. මොකද අපි දණ ගාන කොට වැටි වැටී නැගිටින්න උත්සාහ කරන කොට අපිට ඇවිදින්න උදව් කලේ අපේ අම්මනේ. ඒ කියන්නේ ලෝකයේ ඉන්න විශිෂ්ටතම කාන්තාව තමන්ගේ අම්මා.
පියවි ලෝකයේදී කාන්තාව දැකීමෙන් විතරම නෙවෙයි අචේතනික ව කාන්තාවන් දැකීමෙන් පවා මිනිසාගේ හිත කුල්මත් වෙනවා. වානිජ ලෝකය දිහා බලන කොට මේකට උදාහරණ ඕනෑවටත් වඩා හොයාගන්න පුළුවන්. ඒ නිසාම වෙළද ලෝකයේ කාන්තාවන්ගේ රූපයට ප්‍රධාන තැනක් දීලා තියෙන්නේ. කාන්තාවක් යොදා ගැනීමෙන් තමන්ගේ ව්‍යාපාරික තත්වය තව තවත් වර්ධනය කර ගැනීමේ හැකියාවක් ඇති බව වෙලෙන්දෝ දන්නවා. හැබැයි මේක හොද විදියට වගේම නරක විදියටත් යොදාගන්න අද වෙනකොට ලෝකය පෙළඹිලා තියෙනවා. සජීවීව පමණක් නොවෙයි අජීවීව පවා කාන්තා රූප යොදා ගැනීමෙන් තමන්ගේ ඉලක්කයන් සපුරා ගන්නට ඔවුන් උත්සාහ ගෙන තියෙනවා.
මේ වෙනකොට සෑම සියලු පුවත් පතකමත්, රූපවාහිනී නාලිකාවල පළවන වෙළද දැන්වීම වලත් , වෙනත් ප්‍රචාරක පුවරුවලත් කාන්තාවන්ගේ රූපය දකින්නට ලැබෙනවා. වෙලාවකට අපි දකින්නේ ටයර් එකක් හදුන්වාදෙන්නට යොදාගන්නා ටිකක් අග පසග ඇති තරුණියක්, කෙටි කලිසමකින් සැරසී ඇය පැද්දී පැද්දී යනකොට වයස්ගත පුරුෂයෙක් ටයරය ගැන හැදින්වීමක් කරනවා. ඔහු ව්‍යාංගයෙන් පවසන්නේ ඉහතකී තරුණියගේ පුළුලුකුල පිළිබදවයි.
ඔන්න තවත් තැනක මෙට්ටයක් ගැන හදුන්වාදීමක් කරනවා. ඒ මෙට්ටය උඩ තරුණියක් අඩ නිරුවතින් දිගාවෙලා ඉන්නවා. තවත් විටෙක බුරුසු පිළිබද දැන්වීමක් යනවා . ඒ අවස්ථාවේ තරුණයා තරුණියක් සමග නිවසට එනවා . බාස් උන්නැහැ කියනවා ෂා මේ පාර නම් මහත්තයා තොරගෙන තියෙන්නේ නියම බඩුවක් කියලා. ඉතින් කෙල්ල උඩ යනවා. බලනකොට බාස් කියලා තියෙන්නේ බුරුසුවක් ගැන.
බලන්න සුවද විලවුන් දැන්වීම් වල අදාල සුවද විලවුන් වර්ගය උලාගෙන ඉන්න තරුණිය ඉන්නේ අඩ නිරුවතින්. ඇයව ඔසවාගෙන යනවා තරුණයෙක්. වාහන වර්ගයක් හදුන්වාදෙන්නට යොදාගන්නා තරුණිය රියදුරු අසුනින් බහිනවා. ඒ වුනාට පෙන්වන්නේ ඇගේ තුන්කාලට නිරුවත් වුන දෙකලවා.
පුයර වර්ග, සබන් වර්ග, විලවුන් වර්ගවල දැන්වීම් වලට කාන්තාවන් නැතුවම බැහැ. ඒ වගේම තමයි නොයෙකුත් ඖෂධ වර්ග, විටමින් වර්ග, දන්තාලේප, මේ හැම දැන්වීමකටම කාන්තාවන් පෙනී සිටින්නේ අඩ නිරුවතින්. බොහෝමයක් රූප රාමුවල කලවා යුගල නිරාවරණය වෙලා තියෙන්නේ අර වෙළද ද්‍රව්‍ය කෙසේ වෙතත් වෙනත් මොනවා හරි අලවි කරන්න සැරසෙනවා වගේනේ. මෙහෙම කීවාට මාත් එක්ක කවුරුත් අමනාප වෙන්න වුවමනා නැහැ.
මේ තත්වය ලෝකයේ සෑම සියලු තැනකම පාහේ දකින්නට ලැබෙන දෙයක්. ඔය විදෙස් රටවල නම් ඔව්වා ඒ තරම් ගණන් ගත යුතු දේවල් නෙවෙයි. නමුත් පෙරදිග රටවල තත්වය ටිකක් විතර වෙනස්නේ. (මම ටිකක් විතර කිව්වේ තවම ටිකක් වත් සභ්‍යත්වය කියලා දෙයක් ඉතිරි වෙලා තියෙන නිසයි). මොකද පෙරදිග රටවල කාන්තාව දිහා බැලුවේ බොහෝම ගෞරව පූර්වක හැගීමකින්. ඒ තත්වය තවමත් වෙනස් වෙලා නැහැ කියලයි මගේ විශ්වාසය. සහෝදර හැගීම් මාතෘත්වය පදනම් කරගත් හැගීම් නිසා කාන්තාව කෙරෙහි අපේ රටවල් තුල විශේෂත්වයක් තියෙනවා. බටහිර සමාජයේ කාන්තාවත් පෙරදිග කාන්තාවත් අතර වෙනස් කම් තියෙනවා. අප බොහෝ ආදරයෙන් සුරකින දේවල් බටහිර රටවල එතරම් ගණන් ගන්නේ නැහැ. බටහිර රටවල් තුල තියෙන බොහෝ දේ අපේ සිරිත් විරිත් වලට ගැලපෙන්නේ නැහැ.
දැන් ඔන්න සමහරු මාව විවේචනය කරයි සාම්ප්‍රදායික මත කරපින්නාගෙන අපිට නූතන ලෝකයත් එක්ක තරග කොරන්ට බැරිය කියලා. නමුත් අපේ රටේ නම් කාන්තාවට හිමි වෙන්නේ බොහෝම ගෞරවනීය ස්ථානයක්. ඒක ආරක්ෂා කර ගැනීම හැම ගැහැනියකගේම යුතුකමක් සහ වගකීමක් කියලයි මම හිතන්නේ. බොහෝම හික්මුනු සමාජ සංස්කෘතික පදනමක් තිබුන අපේ රටවල කාන්තාවට දැක්වූ විශේෂ තත්වය නිසාම ඉහතින් සදහන් කල ආකාරයට කාන්තා රුව විවිධ ප්‍රචාරක කටයුතු වලට අනිසි විදියට යොදා ගැනීම කොතරම් උචිතද? තමන් ඊට සම්බන්ධ විම කොතරම් සාදාචාරාත්මකද කියලා හිතලා බලන්න වටිනවා.
නිරුවත් කාන්තා රූපයක් දකින එක බටහිර රටවලට එතරම් දෙයක් නොවෙයි. “තොටිල්ල පදවන අත ලොව
පාලනය කෙරේ...යනුවෙන් අපේ සමාජයේ කියමනක් තියෙනවා. අපි පිළිගන්නා විදියට සමස්ථ ප්‍රජාවගේම නිර්මාතෘ ඇයයි. කාන්තාව නැතිදාට මානව සංහතියක් ඇත්තේ නැහැ. එහෙම වුනොත් ලෝකය අදුරු වෙලාම යයි නේද? සරාගී බැල්මක්, අතෘප්තිමත් හැගීමෙන් බරවූ වතක්, අඩ නිරුවතක් හෝ නිරුවතක් ගැබ්වූ ජායාරූපයක් පළ කර කාන්තාවන්ට කරනුයේ කෙබදු ආකාරයේ ගෞරවයක්ද?
මාධ්‍ය මගින් පමණක් නොව හන්දියක් ගානේ, තාප්පයක් ගානේ මෙබදු ප්‍රචාරක පුවරු හෝ පෝස්ටර් මගින් කාන්තාවන්ගේ නිරුවත ප්‍රදර්ශනය කරනවා දැකීම දැන් සුලබ දර්ශනයක්. මෙබදු දේ කෙරෙහි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කාන්තාවන් යොමු නොවී සිටිනවා නම් කොතරම් අගනේද? වෙනත් කෙනෙකුගේ උවමනාවට වුනත් කාන්තාව මුදල් පසු පස හබා නොයා තමන්ගේ ගරුත්වය ආරක්ෂා වන ආකාරයෙන් සමාජයේ විසීම කෙතරම් වටින්නේද?
ආර්ථික දුෂ්කරතා අපි හැමෝටම තියෙනවානේ. එහෙමයි කියලා තමන්ගේම නිරුවත ප්‍රදර්ශනය කරමින් මුදල් උපයාගැනීම කොතරම් දුරට යහපත් කරුණක්ද කියා දෙවරක් හිතා බැලිය යුතුයි. මුදල් වලටම පමණක් නොවෙයි ඇතැම් තරුණියන් දැන් අන්තර්ජාලය හරහා පවා තමන්ගේ නිරුවත් ජායාරූප ප්‍රදර්ශනය කරන බව පෙනෙන්නට තියෙනවා. මෙය ලංකාවෙත් බොහෝ දුරට සිදුවන දෙයක් බවයි පෙනෙන්නේ. බොහෝ තරුණියන්ගේ ලැජ්ජාව, බය කියන දෙය නැති තරම්. මේවාට කවුරුන් වගකිව යුතුදැයි සිතා ගැනීමට නොහැකියි. මෙය ඉතා පහසුවෙන් පොහොසත් වෙන්නට පුළුවන් ක්‍රමයක් විදියට සිතනවා වෙන්නට පුළුවන්. මෙසේ මුදලට සිය ගෞරවය බිලි දෙන්නේ ඇයි? පහසුවෙන් මුදල් උපයාගැනීමේ අරමුණින් මෙවන් දේට යොමු වීම ගැන තමන් ලැජ්ජාවට පත්විය යුතුයි.
පැරණි සමාජයේ තමන්ගේ ස්වාමියා මිය ගිය පමණින් සිය දිවි තොර කර ගැනීමට තරම් එඩිතර, පතිනියන් සිටියා. රට ජාතිය වෙනුවෙන් යුධ වැදුනු, දිවි පිදූ කාන්තාවන් සිටියා. එවන් කාන්තාවන්ගේ ගෞරවය මේ ආකාරයෙන් කෙලෙසීම යුක්ති සහගත නැත.
ව්‍යාපාරික ලෝකයේ සිය මුදල්වල බලයෙන් කාන්තාවන් නම්මවා ගැනීමට උත්සාහ දරතත් කාන්තාවන් බුද්ධිමත් ලෙස කටයුතු කල යුතුය. මේවා හෙලා දැකිය යුතු කාරණාවේ. වෙළද දැන්වීම් වලට පෙනී සිටිම මනා සැලකිල්ලෙන් හා ප්‍රවේසමෙන් කල යුතු කාර්යයකි. මෙකී පාර්ශවයන් දෙකම කාන්තාවගේ ගෞරවය ආරක්ෂා කල යුතුය.
ව්‍යාපාරිකයින් මෙසේ කාන්තාවන්ගේ රුව නොයෙක් ආකාරයෙන් යොදා ගන්නේ පාඨකයින් ඒ කෙරෙහි විශාල නැඹුරුවක් දක්වන බව දන්නා හෙයිනි. මෙවන් රූපයක් කෙරෙහි පෘතග්ජන සිත ඇදී යන්නේ අනායාසයෙනි. පාඨකයා ඉන් මහත් ආස්වාදයක් ලබයි. ව්‍යාපාරිකයාගේ මඩිය ද තරවන්නේ කාටත් නොදැනුවත්වමයි. එහෙත් අවාසනාවකට මෙන් වෙළද දැන්වීමට පෙනී සිටි කාන්තාවගේ චරිතය ඒ වනවිටත් කෙලෙසී අවසානය.