Thursday, September 1, 2011

පත්තිනි දේවිය

හින්දු භක්තිකයන්ගේ අනන්ත වූ පූජෝපහාරයන්ට ලක්වන අතලොස්සක් දෙවගනන් අතර පත්තිනි දේවියට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.  පතිවෘත්තා ධර්මයට අධිපති දෙවගන ලෙස භාරතීය ජනතාව මහත් හරසරින් වැදුම් පිදුම් කරන්නේ පත්තිනි මෑනියන් උදෙසාය.  ඉන්දියාවේ බෙහෙවින් ජනප්‍රිය පත්තිනි ඇදහිලි ක්‍රම බෞද්ධ ජනතාවගේද ජීවිත වලට බලපා ඇති බව පෙනේ.  අදටත් කුඩා දරුවන්ගේ අසනීප තත්වයන් වලදී (පැපොල,සරම්ප, කම්මුල් ගාය) කිරි අම්මාවරුනට දාන මානාදිය පිළිගන්වා පත්තිනි මෑනියන්ගේ පිහිට බලාපොරොත්තු වෙයි.

විකාර ආකාරයෙන් ශරීර අවයවයන් පිහිටි තේජෝ බලපරාක්‍රමයෙන් පිරිපුන් දෙවිවරුන්ගෙන් අනූන හින්දු දෙවියන් පිළිබදව ගෙතී ඇති කතාන්තර අත්භූත මෙන්ම විශ්වාස කල නොහැකි ආකාරයෙන් ප්‍රචලිත වී ඇත.  නමුත් ඊට හාත්පසින්ම වෙනස් පත්තිනි මෑනියන්ගේ උපත පිළිබද ජනප්‍රවාදය ලෙයින් මසින් හා ජීවගුණයෙන් පිරුණු මිනිස් දුවකගේ නිර්මල  චරිතය පිළිබදව විදහා පෙන්වන අනුවේදනීය කතාපුවතක් ලෙසය ප්‍රකටව ඇත්තේ.  ස්වකීය ස්වාමියා කෙරෙහි අචල භක්තියෙන් හා ප්‍රේමයෙන් කල් ගෙවූ පතිනියකගේ ආදර්ශමත් දිවිය මුලු කතාන්තරය පුරාවටම සුවදවත් කරයි. 

ඇය සොළී රටේ උසස්  වෙළද පවුලකට අයත් ඉතාමත් රූමත් ලලනාවක් වූවාය.  ඇගේ නම කන්නගීය.  අසල්වැසි වෙළද පවුලකට අයත් කඩවසම් තරුණයෙකු සමග ප්‍රෙමයෙන් වෙලී සිටියාය.  ඔහුගේ නම කෝවලන්ය.  දෙදෙනා අතර ඇතිවූ පෙම් සබදතාවය කෙළවර වූයේ දෙමාපියන්ගේද ආශිර්වාද මැද්දේ විවාහ දිවියට පිවිසීමෙන් අනතුරුවය.

කන්නගීගේ චරිතයට වඩා කෝවලන්ගේ චරිතය හාත්පසින්ම වෙනස් එකක් විය.  ඇය උපතින්ම සිල්වන්තියක් වූ අතර, ඔහු උපතින්ම දැඩි රාගාධික ගතිගුණ වලින් හෙබි තරුණයෙකු විය.  නොතිත් කාමාශාවෙන් පෙළුනු ඔහු නිතර නිතර වෙනත් කාන්තාවන් ඇසුරු කරන්නට විය.  නලගනක් වූ මාධවී ඔහු ඇසුරු කල එවන් කාන්තාවකි.  දුටුවන් උමතු කරවන අන්දමේ රූ සපුවක් ඇති ඇයට ඕනෑම ජගතෙක් වසගයට ගැනීමට නෙතගින් හෙලන අනුරාගී බැල්ම පමණක් ප්‍රමාණවත් වීය.  සළෙළු කොවලන්ද මාධවීගේ වසගයට පත්වීමට වැඩි කාලයක් ගත වූයේ නැත.  ඇයගේ මායම් වලට අසුවී මත්ව අන්ධවී සිටි ඔහුට පියවි සිහිය ලැබුනේ ඇය තවත් අයෙකු සමගත් මෙවන් සබදකමක් පවත්වන බව දැනගත් පසුය.  මේ කාලය වනවිට ඔහුගේ මුඵ සේසතම ඇගේ දෙපාමුල විසුරුවා අවසානය.  අසරණ භාවයට පත් කෝවලන් නැවතත් සිය ගුණවත් භාර්යාව ලගට ගියේය.  සැමියාගේ වෙන්වීමෙන් බලවත් ලෙස කම්පනයට පත්ව සිටි කන්නගී ඔහු ඉතා ආදරයෙන් යුතුව නැවතත් පිලිගත්තේ සිය සලෙලු සැමියා කෙරෙහි අනුකම්පා කරමිනි. 

ඉන්පසු මොවුහු පෙරසේම අදරයෙන් කල් ගෙවූහ.  නමුත් කෝවලන්ගේ ධනය පරිහාණියට පත්වූ  නිසා පෙර මෙන් උසස් සමාජයේ වැජබෙන්නට අවස්ථාවක් නොවීය.  කන්නගීගේ ඥාතීන් හා අනෙකුත් උසස් ප්‍රභූන්ද මොවුන් කෙරෙහි දැක්වූයේ එතරම් සිත් ඇදගන්නා සුඵ ලෙන්ගතු කමක් නොවේ.  සොළී රටේ සිටීමෙන් පලක් නොවන බව වටහා ගත් ඔවුන් රැකියාවක් සොයා පඩි රටේ මදුරා පුරයට ගියේ ඉන් අනතුරුවයි.  බොහෝ සෙයින් ජනාකීර්ණ වූ මදුරාපුරයේ එක්තරා වීථියක මාධවී නම් ගොපලු ගැහැණියකගේ අතුපැලක අගුවේ ටික කලක් ඉන්නට ඔවුනට අවසර ලැබුනි.  පිටරටක සිට පැමිණි නන්නාදුනන අයෙකුට එක්වරම රැකියාවක් දෙන්නට කවුරුත් ඉදිරිපත් වූයේ නැත.  මේ නිසා ඔවුනට ආහාර පාන සොයා ගැනීමටද අපහසු විය.  ස්වකීය ගුණ ගරුක බිරිද ආහාර පාන නැතිව කල් ගෙවනු දුටු කෝවලන්ගේ සිත බොහෝ සෙයින් දුකට පත්විය.  එමෙන්ම තම ස්වාමියා මෙලෙස දුකින් සිටිනු දකින්නට කන්නගීද අකමැති වූවාය.  ඇය මෙතෙක් කල් පය ලා සිටි පා සළඹ ගලවා සැමියාට දී එය විකුණා මුදල් ලබාගෙන ආහාර පාන ගෙන එන ලෙස කීවාය.  වෙනත් පිහිටක් නොවූයෙන් අකමැත්තෙන් වුවද ඊට කැමැත්ත පලකල කෝවලන් සිය ගුණවත් බිරිදගේ පා සලඹ විකුනා ගැනීමට කඩපිලට ගොඩ විය.

මේ වනවිට පඩි රටේ රජතුමාගේ අගබිසවගේ පා සලඹ සොරුන් විසින් පැහැර ගෙන ගොස් තිබුණි.  මේ කිසිවක් නොදත් කෝවලන් තම බිරිදගේ පා සලඹ විකිනීමට තැත් කරද්දී රාජ පුරුෂයන් විසින් ඔහුව අල්ලාගෙන රජතුමා ඉදිරිපිටට පැමිණවීය.  අගබිසවගේ පා සලඹට හැම අතින්ම සමාන වූ නිසා කෝවලන් මොන දේ කීවත් එය තමාගේ බිරිදගේ පා සලඹ බව ඒත්තු ගැන්වීමට නොහැකි විය.  රාජ උදහසට ලක්වූ කෝවලන් උල තබා මරන්නට රජතුමා නියෝග කලේය.  අප්‍රමාදව දඩුවම ක්‍රියාත්මක විය.

පා සලඹ විකුණා මුදල් රැගෙන එන්නට ගිය සිය සැමියාගේ ප්‍රමාදය ගැන පුදුමයට පත් කන්නගී ඔහු ආගිය තැන් ගැන සොයන විට ඇයට දැනගන්නට ලැබුණේ රජ බිසවගේ පා සලඹ සොරකම් කිරීමේ චෝදනාවට කෝවලන් උල තබා මරා දමා ඇති බවයි.  ඕ පිස්සියක මෙන් විලාප තබන්නට වූවාය.  වහ වහා රජ මැදුරට ගිය ඇය සැමියාගේ මළ සිරුර වැළදගෙන දෙවියන් යදිමින් වැළපෙන්නට විය.  පඩි රටටත් රජුටත් ශාප කලාය.  ඒ ක්ෂණයකින් මුඵ නුවරම ගිනි බත් වී පඩි රජුද මරණයට පත් විය. 

පතිවෘතා ධර්මයේ බලමහිමයෙන් කල හපන්කම නිසා ඒ පතිනිය පත්තිනි නාමයෙන් පසුකලෙක දේවත්වයෙහි ලා සැලකෙන්නට විය.  මෙරට රජකල 1 වන ගජබා රජු සොළි දේශය ආක්‍රමණය කොට බලගතු සොළී රජකු විසින් ගෙන ගිය දොලොස් දහසක් සිංහලයන් සමග හිලව්වට සොලීන් දොලොස් දහසක් රැගෙන ආපසු එන ගමනේදී පත්තිනි දේවියගේ රන් සළඹද මෙහි ගෙන ආ බව ප්‍රකට පුවතකි.  සළඹ ගෙන එන ලද්දේ පත්තිනි දේවිය අදහන සොලී සිර කරුවන්ගේ ආගමික කටයුතු සදහාය.  එතැන් පටන් අප රටේද පත්තිනි ඇදහිල්ල ආරම්භ වූ අතර කල් යත්ම සිංහලයො ද පත්තිනි දේවිය කෙරෙහි පුද සැලකිලි පවත්වන්නට විය.

පත්තිනි දේවිය අඹ ගෙඩියකින් උපන් බවක් කියවෙන ජනකතාවක් ද අප රටේ ප්‍රසිද්ධව ඇත.  ඇගේ පයෝධරයක් කඩා ගින්නට දැමූ බවක් හා ඒ නිසා අදටත් කාන්තාවන්ගේ එක් පයෝධරයක් අනෙකට වඩා තරමක් කුඩාවට පිහිටන බවක්ද ජනප්‍රවාදයේ සදහන් වෙයි. මේ කතා කෙසේ වෙතත් ඉපැරණි සිංහලයා පත්තිනි දේවිය කෙරෙහි අචල භක්තියක් දැක්වීය.  පත්තිනි හෑල්ල, පාඩි නළුව, වයිනඩිය, අඩවිදමන, ආදී කව් පොත් රාශියක් පත්තිනි දේවිය වෙනුවෙන්ම රචනා වී ඇති නිසා පත්තිනි දේවිය මෙරට ජනතාව අතර කෙතරම් ජනප්‍රිය වීද යන්න මැනවින් පැහැදිලි වේ.  අදත් පත්තිනි දේවිය වෙනුවෙන් නවගමුව, මහනුවර, බදුල්ල, තියඹරාහේන, හා උදුන්විට යන ස්ථානවල පිහිටි සුප්‍රසිද්ධ  පත්තිනි දේවාලයන්හි වාර්ෂිකව පෙරහැර හා උත්සව මහා ඉහලින් පැවැත්වේ.

කිරි දෙන අම්මාට පුංචි කතාවක්

අපි දැන් බොහෝම දියුණු තාක්ෂණික මෙවලමින් පරිපූර්ණ වූ අවදියක සිටින්නෙමු.  ඒත් සමගම සමාජයේ මුල් බැසගෙන සිටි ඇතැම් සම්මුතීන්ද වෙනස් වන්නට වුණා. ජනගහනය සීඝ්‍රයෙන් වැඩිවීමත් සමගම තදබදයද වැඩි වෙන්නට පටන් ගත්තා.  කාන්තාවන් තම දරුවන්ට මව් කිරි දෙන්නට මැලිකමක් දක්වන්නට පටන් ගත්තා.  තමන්ගෙ රූපය රැකගැනීමේ අරමුණ නිසා තමන්ගේ දරුවා දෙවැනි තැන්හි ලා කටයුතු කරන්නට ඔවුන් පසුබට වුනේ නැහැ.  මේ තත්වයේ බයානකම ප්‍රථිපලය වුනේ දරුවන්ට කිරිපිටි ටික පිටරටින් එනතුරු කටබලියාගෙන සිටින්නට වීමයි.  කිරිපිටි ටික ගෙදරක අත්‍යාවශ්‍යම අංගයක් කරගන්නට කාන්තාවන් උනන්දු වීමයි.

1867දී දොස්තර ඔලිවර් වෙන්ඩල් හෝල්ම්ස් මව්කිරි වල ඇති වටිනාකම මීට සියවස් ගණනාවකට පෙර පෙන්වා දුන්නා.  නමුත් තම රූපය කෙරෙහි වඩාත් සැලකිල්ලක් දැක්වූ මව්වරු මේ කීම ගැන එතරම් උනන්දුවක් දැක්වුයේ නැහැ.  විශේෂයෙන්ම ඇමෙරිකන් කාන්තාවන් තමන්ගේ රූපයට මුල් තැනක් දුන් බැවින් ස්වභාවයෙන්ම දරුවාට ලැබිය යුතු සම්පතක් වූ මව් කිරි දරුවන්ට නොලැබී ගියා.  නමුත් දැන් දැන් එහි වටිනාකම බොහෝ දෙනා අවබෝධ කරගෙන ඇත.  මව්කිරි දරුවන්ගේ කායික හා මානසික නිරෝගී භාවයට මෙන්ම කායික මානසික වර්ධනයටද බෙහෙවින් බලපාන බව සොයාගෙන තියෙනවා.  මව් කිරි වල අගය පෙන්වාදීමට මීට අවුරුදු බොහෝ කලකට පෙර චිකාගෝ නුවර පිහිටවූ “ජාත්‍යන්තර සංවිධානය..පසු කාලයක කාගේත් සැලකිල්ලට බදුන් වුණා. මේ සංගමය පිහිටුවීමට මුල් වුනේ මව් කිරි දෙමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුට නැවත පිටි කිරි දීමට වෛද්‍යවරුන් නියම  කිරීම නිසයි.  

මේ කාරණය සම්බන්ධයෙන් කාර්මික ඉංජිනේරුවෙකුගේ බිරිදක් වන “ක්ලෙමන්ට් තොම්ප්සන්..මහත්මිය මේ ආකාරයෙන් පවසා ඇත.  “මම දරුවන් තුන්දෙනකු ලැබූ මවක්.  මට ලැබුණු හැම දරුවෙක් සම්බන්ධයෙන්ම මම උපදෙස් ගත්තේ එකම වෛද්‍යවරයාගෙන් නොවෙයි. එක එක වෛද්‍යවරුන්ගෙන්.  මව්කිරි දීමට අපහසු වු විට ඒ අය දරුවන්ට පිටි කිරි දෙන්න නියම කරනවා.  වෛද්‍යවරයෙකුගේ බිරිදක් වූ ගෙගරි වයිට් මහත්මියටද එකල මේ තත්වය බලපෑ බව ඇය පවසා තිබුනි. ඇයගේ සැමියා වෛද්‍යවරයෙකු වුවද ඔහුගෙන් ඇයට අනුබලයක් ලැබුනේ නැත. එයට හේතුව වූයේ ඔහු මේ පිළිබදව දැනුවත්ව නොසිටීමයි.
පසුව මේ කාන්තාවන් දෙදෙනා එක්විය. මොවුන්  දෙදෙනාම වෛද්‍ය උපදෙස් නොතකා සිය දරුවන් මව් කිරෙන් පමණක් පෝෂණය කරන්නට තීරණය කර තිබුණා. ඔවුන් සිය අත්හදා බැලීම් අනුව මව්කිරි දෙන්නට පටන් ගත්තා.  ඉන්පසු  ඔවුන් චිකාගෝ නගරයේ උතුරු කරයේ ප්‍රභූවරුන් විවේක සුවයෙන් ගත කරන උද්‍යානයකදී ප්‍රසිද්ධියේම තම දරුවන්ට මව් කිරි දෙන ලදී.  කිසිම දිනෙක මෙවැන්නක් නොදුටු  හැමෝම එතැනට රැස්විය.  ඉහත දැක්වූ “ලා ලි චි මව්කිරි දීමේ ජාත්‍යන්තර සංවිධානය.... බිහිවීමට අඩිතාලම වැටුනේ එපරිද්දෙනි.  එය කිරි දෙන මව්වරුනට අත දීමට උපන් සංවිධානයකි. දැනට මේ සංවිධානය මුඵ ලොව පුරාම ව්‍යාප්තව පවතී.  එහි ශාඛා සංවිධාන දහසකට ආසන්න සංඛාවක් ඇති අතර එහි සාමාජිකත්වය ලැබූ පිරිස අතිමහත්ය.

මේ සංවිධානයේ සාමාජිකත්වය දරන කාන්තාවන් තම දරුවන්ට මව්කිරි දියයුතුම යයි බලකිරීමක් නොකරයි.  මෙහිදී කෙරෙන්නේ මෙහි ඇති වැදගත්කම හා අවශ්‍යතාවය පිළිබදව දැනුවත් කිරීමයි.  මේ සංවිධානය මගින් ප්‍රසිද්ධ කල “ද වුමන්ලි ආර්ට් ඔප් බ්‍රෙස්ට්පීඩිං නම් ග්‍රන්ථය බොහෝ දෙනා අතර ඉක්මනින් ප්‍රචලිත විය.  
එළකිරි හා පිටිකිරි නොබොන දරුවන්ගේ අවශ්‍යතාවය සදහා මව්කිරි සැපයීමේ ක්‍රියාවලියක්ද මෙම සංවිධානය මගින් පවත්වාගෙන ගියේය.  අධික මව් කිරි ඇති අම්මාවරුන්ගේ කිරි එකතු කර ඒවා ශීතකරණයක තබා මව්කිරි අවශ්‍ය දරුවන්ට සැපයීම මෙමගින් කෙරුනි.  පසුව මෙම මව්කිරි සංවිධානයට විද්‍යාත්මක සහනයක්ද ලැබුනි.  එවකට ඉංග්‍රීසි වෛද්‍ය සගරාවකට ලිපියක් ලියමින් දොස්තර මිචිල් නිව්ටන් හා නීල්ස් නිව්ටන් කියා සිටියේ මෙසේය.

“ප්‍රාථමික යුගයේදී මිනිසාට සතුටක් ලැබුනේ මෛථුන සේවනයේ යෙදීමෙනි.  කාන්තාවන් දරුවන්ට කිරි දීමෙන් මෙම සතුට ලබා ගත්හ. නමුත් ඇතැම් කාන්තාවන් දරුවන්ට කිරි දීමෙන් සතුටට පත් වූයේ නැත. පිරිමියාට මෙන්ම සමතැන් ලබාගැනීමට තැත් කිරීමේදි කාන්තාව අතින් බොහෝ දේ මගහැරී යන්නට විය.  මෛථුන සේවනයේ යෙදීමේදීත් දරුවාට කිරි දෙන අවස්ථාවේදීත් කාන්තාවන්ගේ පියොයුරු තුඩු ඉලිප්පීමක් සිදුවේ.  එයින් ඇයට එක්තරා අන්දමක කිතියක් ඇති කරනු ලබන අතර ඇතැම් කාන්තාවන්ට රාගාධික සිතුවිලි පහලවන අවස්ථාද නැතුවා නොවේ.  මව් කිරි බී වැඩෙන දරුවන් පිටි කිරි බී වැඩෙන දරුවන්ට වැඩිය රෝගාබාධ වලට ලක්වීමට ඇති ඉඩකඩ අඩුය.  එමෙන්ම මවගේ උනුසුමට වී වැඩෙන දරුවා මානසික හා කායික වර්ධනයක් ද ලබා ගනී.  දරුවන් ලැබීම නිසා කාන්තාවන්ගේ මාස් ශුද්ධිය ඉක්මන් වීමෙන් ඔවුන්ද යම්කිසි සහනදායී තත්වයකට පත්වන බව විද්‍යාඥ මතයයි.  මව් කිරි දීම නිසා පියොයුරු පිළිකාවලට ගොදුරු වීමේ අවදානමද අඩුවේ.  දරුවා මව්කිරි බීමෙන් ලබන ආස්වාදය හා ඒ නිසා ඇතිවන සෙනේබර සිතුවිලි කිරිපිටි ලබාදෙන මවකට ලැබෙන්නේ නැත.  එමෙන්ම ඉතාම පිරිසිදු ගුණදායී ආහාරයක් ලෙස මව් කිරි වෛද්‍යවරුන්ද නිර්දේශ කරනු ලබයි.  






පැරණි ලිපියකින් කරුණු උපුටා ගන්නා ලදී.